ලෝක ශූර තුන් ඉරියව් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියට සමුදෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

2557

ඕස්ට්‍රේලියාව සමඟ මේ සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිත තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක Dwayne Bravo ඊයේ (04) ප්‍රකාශ කළා.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් ඊයේ (04) ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් පරාජය වීම නිසාවෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත්අ වීමට ඔවුන්ට සිදු වුනා. එම පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් Dwayne Bravo ප්‍රකාශ කර සිටියේ,

මම හිතන්නේ දැන් කාලය ඇවිල්ලා. මට ඉතාමත් හොඳ ක්‍රීඩා දිවියක් තියෙනවා. එහි ඉහළට යාම් වගේම  පහළට වැටීම් තිබුනත්, ක්‍රීඩා දිවිය පිළිබඳව නැවත හැරිලා බලද්දී මෙතරම් කාලයක් කැරිබියන් ජනතාව නියෝජනය කරන්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා”.

මේ වන විට 38 වැනි වියේ පසුවන Dwayne Bravo 2006 වසරේ නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් දිනා ගැනීමෙන් අනතුරුව තරග 90ක දී සිය කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 1245ක් රැස්කිරීමට සමත් වුනේ 22.23ක සාමාන්‍යයක් සමඟයි.

එමෙන්ම මෙම තරග රටාවේ අතිදක්ෂ පන්දු යවන්නෙකු වූ Dwayne Bravo බටහිර ඉන්දීය කොදෙව්වන් නියෝජනය කරමින් කඩුලු 78ක් දවා ගැනීමට සමත්ව ඇති අතර ඔහු 2012 සහ 2016 වසරවල ලෝක කුසලානය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙක් වීම ද විශේෂත්වයක්.

කෙසේ නමුත් Bravo හට මෙවර තරගාවලියේ දී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ අතර තරග හතරකට සහභාගී වෙමින් ඔහුට ලබා ගැනීමට හැකි වුනේ පිතිකරණයෙන්  ලකුණු 16ක් සහ පන්දු යැවීමෙන් කඩුලු දෙකක් පමණි.

එය අපි බලාපොරොත්තු වුන ලෝක කුසලානය නෙවෙයි. එය ක්‍රීඩකයන් වශයෙන් අපිට අවශ්‍ය වූ ලෝක කුසලානය නෙවෙයි. අපි අප ගැනම අනුකම්පා නොකළ යුතුයි. එහි දැඩි තරගකාරීත්වයක් තිබුණා” ,යැයි ලෝක කුසලානයේ ලද පරජායන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග හතරකට සහභාගී වූ අතර එයින් ඔවුන්ට ජය ගැනීමට හැකි වූයේ බංග්ලාදේශය සමඟ පැවති තරගය පමණි.

Hindustan Times ඇසුරෙනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<