Home Sinhala ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන නිමා කරයි

ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන නිමා කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

893

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (04) අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තම අවසන් තරගය සඳහා සහභාගී වූ ශ්‍රි ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කළා.

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා. එය මෙවර ලෝක කුසලානයේ ඔවුන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඊට පිළිතුරු ලෙසින් කොදෙව්වන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුණේ චරිත් අසලංකගේ සහ පැතුම් නිස්සංකගේ අර්ධ ශතක ඉනිම් හේතුවෙන්. ඔවුන්ගේ ඉනිම් අවසන් වෙද්දී මෙවර ලෝක කුසලානයේ නිමා වූ මෙතෙක් තරග අතරින් සැකසෙන පිතිකරුවන් ලැයිස්තුවේ ප්‍රමුඛයන් වීමට ඔවුන් දෙදෙනා සමත් වුනා.

කොදෙව් පිතිකරුවන් පාලනය කිරීමේ දී බිනුර ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් නායකයාගෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආරාධනා ලැබුවා.

නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව අංක එකේ පන්දු යවන්නා සමඟ අද පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර තරගයට ක්‍රීඩා කළ ලහිරු කුමාර වෙනුවට බිනුර ප්‍රනාන්දු එක් ව සිටියා. කොදෙව් කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ම මෙම තරගයට ද කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම; කුසල් පෙරේරා (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු
  • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම; Chris Gayle, Evin Lewis, Roston Chase, Shimron Hetmyer, Kieron Pollard (නායක), Andre Russell, Nicholas Pooran (කඩුලු රකින්නා) Dwayne Bravo, Jason Holder, Akeal Hosein, Ravi Rampaul

අද තරගයේ දී ද සුපුරුදු ලෙසින් ම ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් එක් කළා.

ක්‍රියාත්මක වූ 6 වැනි පන්දුවාරය යැවූ Andre Russellගේ පන්දුවකට පෙරළා ඔහුට ම උඩ පන්දුවක් දී කුසල් දැවී යන විට පන්දු 21කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

අනතුරුව පැතුම්ට එක් වූයේ චරිත් අසලංක. මේ දකුණත් සහ වමත් යොවුන් පිතිකරුවන් දෙදෙනා දෙවැනි කඩුල්ලේ අර්ධ ශතක සබඳතාව 36 වැනි පන්දුවේ දී වාර්තා කළා.

පැතුම් අද තරගයේ දී තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී තම දිවියේ මෙන් ම ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය රැස් කළා. දෙවැනි කඩුල්ල ලෙසින් ඔහුගේ ඉනිම අවසන් වන විට පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

ඒ අනුව පැතුම් තම මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා කළේ ඉනිම් 8කට ලකුණු 221ක් රැස් කරමින්.

පැතුම් සහ චරිත් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව පන්දු 61ක දී එක් වූ ලකුණු 91ක්. එය මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරග අතරින් දෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව ලෙසින් වාර්තා වුනා.

දෙවැනි කඩුල්ල අහිමි වෙද්දී ලකුණු 133ක් වී ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගී තිබිය දී පිතිකරු ලැයිස්තුවේ වෙනසක් කරමින් අංක 4 වැනි පිතිකරුවා ලෙසින් නායක දසුන් ශානක පිටියට පිවිසියා.

චරිත් අද තරගයේ දී තමන් මුහුණ දුන් 33 වැනි පන්දුවේ දී තම ලෝක කුසලාන තරග ගමනේ දෙවැනි අර්ධ ශතකය රැස් කළා. තෙවැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී යන විට පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියා.

එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ පෞද්ගලික හොඳම ඉනිම බවට ද පත් වූ අතර මෙවර ලෝක කුසලාන තරග අවසන් කරන විට ඔහු ඉනිම 6ක දී ලකුණු 231ක් රැස් කරගෙන සිටියා. එහි තරගයක සාමාන්‍ය 46.20ක්.

චරිත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක සමඟින් පන්දු 19ක දී ලකුණු 46ක් රැස් කිරීමට දායක වීම ද කැපී පෙනුණා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී දසුන් ශානක පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද, චාමික කරුණාරත්න පන්දු 3ක දී නොදැවී ලකුණු 3ක් ද රැස් කරගෙන සිටියා.

අද තරගයේ ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට කොදෙව් නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක් යොදා ගත්තා. ඒ අතුරින් සාර්ථක වූයේ Andre Russell පමණයි. ඔහු ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 190ක හඹා යන ඉනිමක් වෙනුවෙන් Chris Gayle සහ Evin Lewis පිටියට පිවිසියත්, ඔවුන්ට වැඩි වේලාවක් රැඳී සිටින්නට හැකි වූයේ නැහැ. බිනුර ප්‍රනාන්දුගේ පන්දුවකට වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් ලබා දෙමින් Gayle ලකුණකට ඉනිම හැර ගියා.

නැවත එම පන්දුවාරයේ ම අවසන් පන්දුවේ දී Evin Lewisගේ (8) කඩුල්ල බිඳ වැටුණා. එසේ වූවත් ඔවුන් පළමු Power play අවස්ථාව නිමා කරන විට ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් වුනා. දැවී ගිය කඩුලු සංඛ්‍යාව 3ක්.

තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් කෙරුණේ Roston Chase (9). චාමික කරුණාරත්නගේ පන්දුවකට භානුක රාජපක්ෂ දක්ෂ ලෙස ලබා ගත් උඩ පන්දුවක් ඊට හේතු වුනා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් Nicholas Pooran සහ Shimron Hetmyer එක්ව ලකුණු 30ක සබඳතාවක් එක් වෙද්දී, දුෂ්මන්ත චමීර එම සබඳතාව බිඳ දැමුවා. ඒ Nicholas Pooran දවා ගනිමින්. ඔහුගේ ඉනිම පන්දු 34කට සීමා වූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ඔහු ලබා සිටියා.

අනතුරුව Andre Russell ලකුණු දෙකකට දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූ අතර තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම Kieron Pollard ලකුණු නොලබා ම දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවකට. ඒ වෙද්දී කොදෙව් ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලෙස කියැවුණා.

දසුන් ශානකගේ පන්දුවකට චාමික රැක ගත් දක්ෂ උඩ පන්දුවක් හේතුවෙන් කොදෙව් ඉනිමේ 7 වැනි කඩුල්ල ද ඒ ආසන්නයේ ම දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ Jason Holder ලකුණු 8කට සීමා කරමින්. Dwayne Bravo ගේ කඩුල්ල ද ලකුණු 2කට සීමා වුනා. එම කඩුල්ලේ හිමිකාරිත්වය වනිඳු සතු වුනා.

අනතුරුව කඩුල්ලේ දී එතෙක් එක් අන්තයක් ආරක්ෂා කරමින් පිටියේ රැඳී සිටි Shimron Hetmyer තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ තෙවැනි අර්ධ ශතකය රැස් කළා. එම ඉනිම ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ඉහළ ම දක්ෂතාව වුනා. තරගය අවසන් වන විට Hetmyer පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා සිටියා.

  • ශ්‍රී ලංකාව; කඩුලු 3ක් දැවී 189 (20) පැතුම් නිස්සංක 51, කුසල් පෙරේරා 29, චරිත් අසලංක 68, දසුන් ශානක නොදැවී 25, Andre Russell 2/33
  • බටහිර ඉන්දීය කොදෙව්; කඩුලු 8ක් දැවී 169 (20) Nicholas Pooran 46. Shimron Hetmyer නොදැවී 81, බිනුර ප්‍රනාන්දු 2/24, චාමික කරුණාරත්න 2/43, වනිඳු හසරංග 2/19

තරගයේ වීරයා; චරිත් අසලංක (ශ්‍රී ලංකාව)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


West Indies
169/8 (20)

Sri Lanka
189/3 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shimron Hetmyer b Dwayne Bravo 51 41 5 0 124.39
Kusal Perera c & b Andre Russell 29 21 2 1 138.10
Charith Asalanka c Shimron Hetmyer b Andre Russell 68 41 8 1 165.85
Dasun Shanaka b 25 14 2 1 178.57
Chamika Karunaratne b 3 4 0 0 75.00


Extras 13 (b 0 , lb 4 , nb 0, w 9, pen 0)
Total 189/3 (20 Overs, RR: 9.45)
Fall of Wickets 1-42 (5.2) Kusal Perera, 2-133 (15.3) Pathum Nissanka, 3-179 (18.4) Charith Asalanka,

Bowling O M R W Econ
Roston Chase 1 0 6 0 6.00
Jason Holder 4 0 37 0 9.25
Ravi Rampaul 4 0 37 0 9.25
Andre Russell 4 0 33 2 8.25
Akeal Hosein 2 0 22 0 11.00
Dwayne Bravo 4 0 44 1 11.00
Kieron Pollard 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Chris Gayle c Wanidu Hasaranga b Binura Fernando 1 5 0 0 20.00
Evin Lewis b Binura Fernando 8 6 2 0 133.33
Nicholas Pooran c Dhananjaya de Silva b Dushmantha Chameera 46 34 6 1 135.29
Roston Chase c Bhanuka Rajapaksa b Chamika Karunaratne 9 8 2 0 112.50
Shimron Hetmyer b 81 54 8 4 150.00
Andre Russell c & b Chamika Karunaratne 2 4 0 0 50.00
Kieron Pollard b Wanidu Hasaranga 0 1 0 0 0.00
Jason Holder c Chamika Karunaratne b Dasun Shanaka 8 5 0 1 160.00
Dwayne Bravo b Wanidu Hasaranga 2 3 0 0 66.67
Akeal Hosein b 1 1 0 0 100.00


Extras 11 (b 1 , lb 2 , nb 1, w 7, pen 0)
Total 169/8 (20 Overs, RR: 8.45)
Fall of Wickets 1-1 (1.2) Chris Gayle, 2-10 (1.6) Evin Lewis, 3-47 (5.3) Roston Chase, 4-77 (11.1) Nicholas Pooran, 5-94 (13.1) Andre Russell, 6-107 (14.1) Kieron Pollard, 7-117 (15.2) Jason Holder, 8-131 (16.6) Dwayne Bravo,

Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 21 0 5.25
Binura Fernando 2 0 24 2 12.00
Dushmantha Chameera 4 0 41 1 10.25
Chamika Karunaratne 4 0 43 2 10.75
Dasun Shanaka 2 0 18 1 9.00
Wanidu Hasaranga 4 0 19 2 4.75