එංගලන්තයේ ටෙස්ට් ජයග්‍රහණ රැල්ලට දැන්වත් තිත තියමුද?

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

555

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියට ඇතුළත් වන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන සහ අවසන් තීරණාත්මක ටෙස්ට් තරගය හෙට (22) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනවා.

දෙරට අතර පසුගිය දා නිමා වූ පළමු ටෙස්ට් තරගය කඩුලු 7කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනේ පළමු ඉනිම තුල දී දැක්වූ දුර්වල පිතිකරණ විලාසය නිසයි. කෙසේ නමුත් දෙවැනි ඉනිමේ දී එම අඩු පාඩුව බොහෝ දුරට අවම කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණේ ලහිරු තිරිමාන්න ලබා ගත් ශතකය මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ලබා ගත් අර්ධ ශතක නිසයි.

 එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 5:

  • 2012 – එංගලන්තයට ජය – පී. සරා ඕවල්
  • 2018 – එංගලන්තයට ජය – ගාල්ලේ දී
  • 2018 – එංගලන්තයට ජය – පල්ලෙකැලේ දී
  • 2018 – එංගලන්තයට ජය – එස්. එස්. සී
  • 2021 – එංගලන්තයට ජය – ගාල්ලේ දී

මුහුණට මුහුණ

1981 ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරග 35ක් පවත්වා තිබෙන අතර එයින් 16ක ජය එංගලන්තය සතුවෙද්දී, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණයි. තවත් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

කණ්ඩායම් දෙක අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 16න් තරගාවලි 8කම ජය ලියැවී ඇත්තේ එංගලන්තය ඉදිරියෙන්. ශ්‍රී ලංකාව තරගාවලි 5ක් ජය ගන්නා විට තවත් තරගාවලි 3ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2012 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය මහේල ජයවර්ධනට හා රංගන හේරත්ට හිමි විය යුතු අතර තරගාවලිය අවසානයේ රංගන හේරත් ශ්‍රී ලංකාව ජය ගත් තරගයේ වීරයා බවට ද පත්වුනා. තරගාවලිය අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වුනේ මහේල ජයවර්ධනයි.

 2014 වර්ෂයේ දී එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවති තරගයක් ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තරගය ඉතිහාසයට එකතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේ දී අවසන් වරට ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලොකු පොඩි ඉනිම්

වසර 37ක අතීතයට දිව යන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ඉතිහාස පොතේ වාර්තා වන පරිදි මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග තුල ඉනිමක් තුල දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු වාර්තාව ශ්‍රී ලංකාවේ නමට ඉදිරියෙන් සටහන් වී ඇත.

ඉනිමක ලබා ගත් වැඩිම ලකුණ ලෙස දැක්වෙන්නේ 2003 වර්ෂයේ දී ලබා ගත් ලකුණු 628/8d වන අතර මෙතෙක් ඉනිමක වාර්තා වී ඇති අඩුම ලකුණ ශ්‍රී ලංකාව හා එංගලන්තය සමව වාර්තා කරගෙන තිබේ. එම ලකුණු ප්‍රමාණය ලකුණු 81ක්.

තවත් ක්‍රිකට් පුවත්

දිනේෂ් චන්දිමාල්

නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වී තිබෙන අතර ඒ නිසාවෙන් ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ චන්දිමාල් වෙතයි. චන්දිමාල් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 7ක දී ඉනිම් 13කට ක්‍රීඩා කරමින් ලකුණු 364ක් ලබාගෙන ඇත්තේ ලකුණු 28ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒ සඳහා එක් ශතකයක් ඇතුළත්. චන්දිමාල් සතුව තිබෙන අත්දැකීම් සහ නායකත්වයේ වගකීම් අනුව ඔහු නිසැක ලෙසම කණ්ඩාමේ මැදපෙළ ස්ථාවර කර ගැනීම සඳහා හොඳ දායකත්වයක් ලබා දීම අනිවාර්ය වෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ලකුණු – 28, 20

Joe Root

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් මෑත කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් අතර සිටින පිතිකරුවෙක් ලෙස සැලකීමට හැකි අතර ඔහු ඒ බව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකය ලබා ගනිමින් ඔහු එය ඉතාමත් හොඳින් පෙන්නුම් කළා. Root ශ්‍රී ලංකාවට එරෙහිව දැනට ටෙස්ට් ක්‍රිකට් තරග 9ක දී ඉනිම් 16කට ක්‍රීඩා කරමින් ලකුණු 804ක් ලබාගෙන ඇත්තේ සහ ද්විත්ව ශතක දෙකක්, ශතක 2ක් හා අර්ධ ශතකයක් ද ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 53.60ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතී.

පළමු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ලකුණු – 228, 1

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ සවිමත් කිරීමට හැකි මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙක්. පළමු තරගයේ දී යම් මට්ටමක සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට සමත් වූ මැතිව්ස් මේ තරගයේ දී පන්දුවාර කිහිපයක් යැවීම වෙනුවෙන් ද සූදානමින් සිටිනවා. මැතිව්ස් එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 10ක දී ලකුණු 855ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 19ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 45ක්. ඒ සඳහා ශතක දෙකක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත් වෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ලකුණු – 27, 71

Jonny Bairstow

දඟපන්දු යවන්නට එරෙහිව ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වීමට හැකියාව තිබෙන  Bairstow ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 5ක ඉනිම් 8ක් සඳහා දායක වෙමින් ලකුණු 594ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 99ක් පමණ වේ. ඒ අතරට ශතක තුනක් ඇතුළත් වන අතර ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දැනට ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 167*ද ලබාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 47, 35*

දිල්රුවන් පෙරේරා

දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් ශ්‍රී ලංකා සංචිතය තුල සිටින අත්දැකීම් බහුලතම දඟපන්දු යවන්නා වෙනවා. ටෙස්ට් තරග 42කට සහභාගී වී කඩුලු 160ක් දවා ගෙන ඇති දිල්රුවන් ඔහුට කළ හැකි උපරිමය කරනු ඇත. එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කර ඇති දිල්රුවන් එහි දී කඩුලු 26ක් දවාගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව කඩුලු 5ක් දවා ගත් අවස්ථා 2ක් ද ඔහුගේ නමට ඉදිරියෙන් ලියා ගනිමිනි. කෙසේ නමුත් දිල්රුවන් පන්දු යවන විට ඔහුගේ අන්තයෙන් තරමක් ලකුණු ලබාගැනීමේ සඳහා එංගලන්ත පිතිකරුවන් වැඩි ලෙස අවධානය යොමු කරමින් සිටින බවක් පෙනෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 4/109/, 0/34.

Jack Leach

ශ්‍රී ලංකාව සමඟින් ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කර ඇති වමතින් දඟපන්දු යවන Jack Leach ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 11කට සහභාගී වෙමින් කඩුලු 40ක් දවාගෙන ඇත්තේ,  එක් කඩුලු 5 අවස්ථා දෙකක් ද සාර්ථක කරගෙනයි. ඉන් කඩුලු 24ක් ශ්‍රී ලංකාවට එරෙහිව දවාගෙන තිබීම සුවිශේෂී වෙනවා. Jack Leachගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 29.10කි.

පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 1/55, 5/122

සුරංග ලක්මාල්

සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 61ක දී කඩුලු 151ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 එක් අවස්ථා 3ක් ද ලබාගෙනයි. එංගලන්තය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 10ක දී කඩුලු 17ක් දවාගෙන ඇත්තේ ලකුණු 971ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 57.11ක්. ලක්මාල් සිය ආබාධය සුවවීමෙන් පසුව හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමක පසු නොවීම නිසා දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකිවුනත් ඔහු මේ තරගය සඳහා ඉතාමත් හොඳ සූදානමකින් සිටිනවා.

James Anderson

ලොව ප්‍රබල වේගපන්දු බල ඇණියක් සිටින කණ්ඩායමක් ලෙස එංගලන්තය හඳුන්වන බව අප කොයි කවුරුත් හොඳින් දන්නා කාරණයක් වන අතර ඒ අතරින් දකුණතින් වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් වැදගත් වන්නේ ඔහුට තිබෙන අත්දැකීම් සහ හැකියාව අනුව නව පන්දුව හෝ පැරණි පන්දුව කියා භේදයකින් තොරව කළ හැකි දේ බොහෝ නිසාවෙනි.

එසේම ගාලු තණතීරුව මත ද ටෙස්ට් තරග රැසක් ක්‍රීඩා කර තිබෙන Anderson ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 13ක් ක්‍රීඩා කරමින් කඩුලු 52ක් දවාගෙන ඇත්තේ 23.86ක තරම් හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ගාලු ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

1876 දී විවෘත කරනු ලැබූ ගාලු ක්‍රීඩාංගණය ලොව ඇති දර්ශනීය ක්‍රීඩාංගණවලින් එකක් ලෙස සැලකෙනවා. මේ මනරම් ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට දඟපන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙනවා. සාමාන්‍යයෙන් තරගාවලියක ආරම්භක තරගය සඳහා ගාල්ල තණතීරුව යොදාගන්නා නමුත් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයක් ගාල්ල තණතීරුවේ පැවැත්වෙන්නේ 2016 වසරේ අගෝස්තුවලට පසුවයි.

ගාලු පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග 33කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 18ක් ජයග්‍රහණය කර ඇති අතර තරග 9ක් පරාජය වී ඇත. එසේම ගාලු ක්‍රීඩා පිටියේ පැවති තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.

එංගලන්තය හා ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් පිටියේ දී පළමු වතාවට ටෙස්ට් තරගයක දී එකිනෙකා මුණගැසී ඇත්තේ 2001 වර්ෂයේ වන අතර ඒ තරගය ඉනිමකින් හා ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබුණි. 2003 හා 2007 වර්ෂයේ පැවති ටෙස්ට් තරග ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී අවසන් වරට (2018 සහ 2021 පළමු තරගය) පවත්වා ඇති ටෙස්ට් තරග දෙකම එංගලන්තය ජය ගත්තා. කෙසේ නමුත් 2012 පැවති තරගයේ ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ. සෙල්සියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම 4 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4326ක් සමඟ ප්‍රසාද ලකුණු 106ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 2574ක් සමඟ ප්‍රසාද ලකුණු 86ක් දිනා ගෙනයි.

ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද එංගලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

දැනට තිබෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව එංගලන්තය 4 වැනි ස්ථානයේ (65.2% – 352) ද, ශ්‍රී ලංකාව 7 වැනි තැන ද (19% – 80) පසුවෙනවා.

දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් පෙරේරා, ලහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්.

එංගලන්තය – Joe Root (නායක), Dom Sibley, Zak Crawley, Jonny Bairstow, Dan Lawrence, Jos Buttler, Sam Curran, Dom Bess, Jack Leach, Mark Wood, James Anderson

*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<