“මායි මාලිංගයි අතර පෞද්ගලික තරහක් නැහැ” – දයාසිරි ජයසේකර

721

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය පිළිබඳව ඔහු නැවතත් ඊයේ (28) පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වන ලදි.

මෙහිදී ඔහු තහවුරු කර සිටියේ ඔහු සිදු කළ එම ප්‍රකාශය කණ්ඩායමේ කිසියම් එක් ක්‍රීඩකයෙකු ඉලක්ක කර ගෙන සිදු කළ එකක් නොවන බවත්, මාධ්‍ය ඒ පිළිබඳව සීමාව ඉක්මවා ප්‍රචාරය කිරීම නිසා එය ඔහු සහ මාලිංග අතර මතභේදාත්මක තත්වයක් ඇතිවීමට තුඩු දී ඇති බවත් ය.

මාලිංග – ඇමති ගැටලුව දිග්ගැස්සෙයි

රජයේ ඇමතිවරයෙක් හට අපහාස වන අන්දමින් වචන භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි…

ඔහු පවසා සිටියේ,

“මට කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. මම ඒ විවේචනය එල්ල කළේ සමස්ත කණ්ඩායමටම. ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව ගැටලු සහගත නිසයි මම ඒ චෝදනාව එල්ල කළේ. මට ඒක ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා.”

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ මාලිංග හට මාස 06ක අත්හිටවූ දඬුවමක් (අදාළ මාස 06ක කාලය තුළ ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළහොත් මාලිංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවෙනු ඇත) සහ ඔහු සහභාගී වන ඊළඟ ජාත්‍යන්තර එක්දින තරගයේ ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් පැනවීමට තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවත් ය.

“මම මාලිංගට එරෙහිව කිසිම පියවරක් ගත්තේ නැහැ. ඔහු ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවර ගන්න තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය.”

එමෙන්ම සීමිත පන්දුවාර තරගවල දී මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බවත් ක්‍රීඩා පිටියෙන් පිට දී සිදු වූ අනවශ්‍ය සිදුවීමක් නිසා තරග තහනමකට ලක්ව සිටිනවාට වඩා ඉදිරියටත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින් දක්‍ෂතා දක්වනු දැකීම තමන්ගේ ද බලාපොරොත්තුව බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

“මාලිංග දක්ෂ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. ඔහු තරග කිහිපයක් සඳහා තරග තහනමකට ලක්වෙන්න ඉතා ආසන්නව සිටියේ. නමුත් ඒක සිදුවෙනවාට මම කැමති වුනේ නැහැ.”

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකු වශයෙන් සාර්ථක වීමට නම් ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත් කරුණක් බව අවධාරණය කළ ක්‍රීඩා අමාත්‍යවරයා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරියේ දී මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන බවයි.

“ශ්‍රී ලංකා කණ්ඩායම දක්‍ෂතාවලින් සම්පූර්ණ කණ්ඩායමක්. නමුත් ඔවුන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කර ගන්න කටයුතු කිරීම අවශ්‍ය බව හොඳටම පැහැදිලියි. අපි තීරණය කරලා තිබෙනවා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කර ගන්න ඔවුන්ට මාස 03 ක කාලයක් ලබා දෙන්න. ඉන් අනතුරුව ඔවුන්ගේ වර්ධනය ගැන පරීක්‍ෂා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.”

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට