ලැබූ ජය ගැන උදම් අනන ක්‍රීඩකයින්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

5033

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය පරාජය කරමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුනා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයින් වූ ලොව දෙවැනි කණ්ඩායම (මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම) බවට පත්වීමට ද එංගලන්තය අද සමත් වුනා.

පාකිස්තානයට එරෙහිව එංගලන්තය කඩුලු පහක ජයග්‍රහණයක් හිමි කරගැනීමෙන් පසුව නිල තරග විකාශකයින් හමුවේ සිය හැඟීම් ප්‍රකාශ කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ අදහස් පහතින් දැක්වෙනවා.

Jos Buttler (එංගලන්ත නායක)

“විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම ඉමහත් ආඩම්බරයක්.”


“වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් අපි දිගු ගමනක් ආවා, දැන් ඒ ගමනේ ඵල නෙලා ගනිමිනුයි අපි ඉන්නේ. තරගාවලියට පෙර කළ පාකිස්තාන සංචාරය ගොඩක් වැදගත් වුනා. ඒ වගේම අයර්ලන්තය සමඟ තරගයෙන් පස්සේ ගොඩක් දුර එන්න පුළුවන් වුනා.”

“ඔහු (පුහුණුකරු Matthew Mott) අපිට ගොඩක් ගැළපෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියානුවන් කිහිපදෙනෙකුත් අපි සමඟ හිටියා. ඔහු පුහුණු කාර්‍ය මණ්ඩලය ඉතා හොඳින් මෙහෙය වූවා. ඒ වගේම අපිට තමන් ගැනම විශ්වාස කරමින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිදහස ලබා දුන්නා. Adil අති විශිෂ්ඨයි, අපි ඔහුට පන්දුව ලබාදෙන හැම වෙලාවකම ඔහු දෙයක් වෙන්න ඉඩ සැලැස්වුවා.”

“ඒක ලේසි දෙයක් වුනේ නැහැ, හොඳ ආරම්භයක් ලබාගන්න පුළුවන් වුනා. ඊට පස්සේ Ben Stokes පිටියේ රැඳී සිටියා. ඔහු තමයි ක්‍රීඩකයා. ඔහු කරන හැමදෙයක් පිටිපස්සේම විශාල අත්දැකීම් ප්‍රමාණයක ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ඔහු සහ Moeen තරගයේ වාසිය පාකිස්තානයෙන් ඈත් කළා.”

Babar Azam ( පාකිස්තාන නායක)

“එංගලන්ත කණ්ඩායමට සුභ පැතුම්. අපිට දැනුනේ මෙතන ඉන්න හැමෝම අපිට සහය පළ කරන්න ආවා වගේ. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. කණ්ඩායම අවසන් තරග හතර ක්‍රීඩා කරපු ආකාරය අති විශිෂ්ඨයි.”

“මම අපේ ක්‍රීඩකයින්ට කිව්වේ නිදහසේ තමන්ගේ විදිහට ක්‍රීඩා කරන්න කියලයි. අපි ලකුණු විස්සක් විතර අඩුවෙනුයි ලබා ගත්තේ. ඒත් අවසන් පන්දුවාරය වෙනකම් දුන්න සටන විශ්වාස කළ නොහැකි තරම්. අපේ පන්දු යැවීම හොඳම ඒවගෙන් එකක්. නමුත් අවාසනාවකට Shaheenගේ ආබාධය අපිට ගොඩක් බලපෑවා. නමුත් ඒක ක්‍රීඩාවේ කොටසක්.”

Sam Curran (තරගයේ සහ තරගාවලියේ වීරයා)

“මම හිතන්නේ මට මෙය (තරගයේ වීරයා සම්මානය) ලැබිය යුතු නැහැ. මම හිතන්නේ Ben Stokes ක්‍රීඩා කළ ආකාරයට, අවසන් තරගයක අර්ධ ශතකයක් ලබා ගනිමින්, (ඔහු එය අපි වෙනුවෙන් ගොඩක් අවස්ථාවල දී කරලා තියෙනවා) ඔහුටයි මෙය හිමි විය යුත්තේ.”

“අපි මෙය සමරන්නයි යන්නේ. මේක ගොඩක් විශේෂ අවස්ථාවක්.  කඩුල්ලේ ස්වභාවය අනුව කඩුල්ල හරහා පිතිකරුවන්ව පහර එල්ල කිරීමට යොමු කිරීම සාර්ථක වන බව මම දැනගෙන හිටියා. අපි හිතපු තරම් කඩුල්ල හොඳ එකක් නොවුනු බවත් අපිට දැනුනා. මම පන්දු යවද්දී වේගය අඩාල කළ පන්දු යවමින් පිතිකරුවාට හිතන්න සැලැස්සුවා. අපි ලෝක ශූරයෝ. කොච්චර හොඳ ද ඒක.”

“Stokes ගොඩක් විශේෂයි. මම ඔහු ගැන නිතරම බලාපොරොත්තු සහගතව ඉන්නවා. මිනිස්සු ඔහු ගැන ප්‍රශ්න කරා, නමුත් ඔහුගෙන් ප්‍රශ්න කරන්න කිසිම දෙයක් නැහැ. ඔහු තමයි කෙනා.”

“ඇත්තටම මට වචන නැති තරම්, මේ මගේ පළවෙනි ලෝක කුසලානය ඒ වගේම අපි ඒක දින්නා. මම ඊට කලින් අවසන් පන්දුවාර වල එතරම්ම පන්දු යවලා තිබුණේ නැහැ. ඒ අංශයෙන් මම තවත් දියුණු විය යුතුයි. ඒ වගේම පිතකරණ අංශයත් මම තවත් දියුණු කරගත යුතුයි.”

Ben Stokes

“අවසන් තරගයක දී, විශේෂයෙන්ම හඹා යද්දී ඔබට ඉන් පෙර වෙහෙස වී කළ සියලුම දේ අමතක වෙලා යාවි.”

“Adil Rashid සහ Sam Curran අපිට තරගය දිනවලා දුන්නා. ඒක මීට පෙර කිසිදා මුණනොගැසුනු අන්දමේ අමාරු කඩුල්ලක්. ඒ නිසා ඔවුන්ව ලකුණු 130 සීමාවේ නතර කිරීම වෙනුවෙන් පන්දු යවන්නන්ව අගය කළ යුතුයි.”

“අයර්ලන්තය සමඟ පැවති තරගයට යන්න දෙන්න අවශ්‍යයි, මේ වගේ තරගාවලිවල දී ඒ වගේ දේවල් වෙනවා. අයර්ලන්තය එහි දී හොඳින් ක්‍රීඩා කරමින් අපව පරාජය කළා. නමුත් හොඳ කණ්ඩායම් ඔවුන්ගෙන් වුනු අඩුපාඩු වලින් ඉගෙන ගන්නවා, ඒ වගේම ඒවා බාධාවක් කරගන්නෙත් නැහැ.”

Moeen Ali

මෙය මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම දවස් වලින් එකක්. කණ්ඩායමක් විදිහට අපි එය ලැබීමට සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. කාලයක් තිස්සේ අපි ගොඩක් හොඳින් ක්‍රීඩා කළා.” 

“අවසන් පූර්ව තරගය වගේම අද තරගයත් පුදුමාකාර හැඟීමක් ලබාදෙන්නේ. විශේෂයෙන්ම අපේ රසිකයින් වගේම පවුල්වල අයත් අපේ ඉස්සරා ඉඳිද්දී.”

Alex Hales

මගේ කාලය නැවත එළඹෙයි කියලා මම කිසිවිටෙකත් සිතුවේ නැහැ. අදහන්න බැරි තරම් විශිෂ්ඨ හැඟීමක්. පසුගිය සති 6-8ක කාලසීමාව ගොඩක් විශේෂයි. මම මේ තරගාවලිය ගොඩක් සතුටින් ක්‍රීඩා කළා. ඒ වගේම වැදගත් තරගවල හොඳින් ක්‍රීඩා කිරීමට හැකි වුනා.”

Cricbuzz ඇසුරිනි.

ක්‍රිකට් ලොවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<