අඩු පන්දුවාර වේගයට නව දඬුවමක්

2858
Changes to T20I Playing Conditions

මෙම මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි කාන්තා හා පිරිමි විස්සයි විස්ස පිටියේ අඩු පන්දුවාර වේගය සඳහා තවත් දඬුවමක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තීරණය කර තිබෙනවා.

එමෙන්ම එයට අමතරව විස්සයි විස්ස තරග සඳහා අමතර කෙටි විවේකයක් ලබා දීමට ද ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ඒ අනුව විස්සයි විස්ස තරගයක අවසන් පන්දුවාරය වන විට පන්දු රකින කණ්ඩායම සිය පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යොමුකිරීමට අපොහොසත්ව තිබුනොත් අවසන් පන්දුවාරයේ දී යාර 30 සීමාවෙන් පිටත සිටින ක්‍රීඩකයෙකු යාර සීමාව තුලට ගැනීමට නව නීති අනුව සිදු වේ.

මෙම නව නීතිය මීට පෙර පසුගිය වසරේ පැවැත්වූ Hundred තරගාවලියේ දී ක්‍රියාත්මක කෙරූ අතර එය අධ්‍යනය කිරීමෙන් පසු තරගයේ වේගය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම දඬුවමට අමතරව මීට පෙර අඩු පන්දුවාර වේගය සඳහා ක්‍රියාත්මක කළ නායකයාට සහ ක්‍රීඩකයින්ට දඩ මුදලක් නියම කිරීම ද එලෙසින්ම ක්‍රියාත්මක වන බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

මෙයට අමතරව විස්සයි විස්ස තරගයක එක් ඉනිමක අඩක් නිමාවට පත්වූ විට මිනිත්තු 2.30ක කෙටි විවේකයක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

මෙම නව නීති මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත අයර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයේ දී පළමුවෙන් ක්‍රියාත්මක වන අතර කාන්තා තරගයක එය මුලින් ක්‍රියාත්මක වන්නේ 18 වැනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර තරගයේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<