එංගලන්ත Lions කණ්ඩායමට එරෙහි සිංහ සෙයියාව

146

මෙරටට පිවිසි එංගලන්ත Lions කණ්ඩායමේ තරග සංචාරය අවසන් වෙන්නේ නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හිමි කර ගනිමින්

ඊට පෙර ගාල්ලේ දී පැවැති සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයකින් තොරව නිමා කිරීමට දෙපිලේ ක්‍රීඩකයෝ සමත් වූවා.

ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර තරග ගමන් මග
1 පළමු සිව් දින තරගය තරගයේ විසඳුමක් නෑ.
2 දෙවැනි සිව් දින තරගය තරගයේ විසඳුමක් නෑ.
3 පළමු එක්දින තරගය එංගලන්ත Lions කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
4 දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 86ක ජයක්.
5 තෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

සමස්තයක් ලෙස ගත් කල මෙම තරගාවලි 2 දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයකගේ දක්ෂතා ඕනෑවටත් වඩා දැක බලා ගැනීමට හැකි වීම සුවිශේෂයි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ ද සැනසිල්ලට හේතු වනවාට කිසිදු සැකයක් නැත.

සිව්දින තරගාවලිය

ගාල්ලේ දී පැවති තරග 2කින් සමන්විත වූ මෙම තරගාවලිය සඳහා එංගලන්ත Lions ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ අගනුවර දී පැවති පුහුණු තරගයකට ද සහභාගී වීමෙන් අනතුරුවයි.

තෙදින තරගයක් වූ මෙහි දී එංගලන්තය වෙනුවෙන් Alex Lees ශතකයක් වාර්තා කරන අතර Tom Abell සහ Jamie Smith පළමු ඉනිමේ දී අර්ධ ශතක වාර්තා කරන අතර Josh Bohannon සහ Jack Haynes ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වෙනවා.

ඔවුන්ට එරෙහිව පිටියට පිවිසි ශ්‍රී ලංකා සභාපතිගේ යොවුන් ක්‍රීඩකයන් අතරින් නිශාන් මධුශ්ක සහ ලසිත් කෲස්පුල්ලේ ශතක වාර්තා කරමින් දක්ෂතා දක්වද්දී, ලහිරු උදාර සහ පසිඳු සූරියබණ්ඩාර අර්ධ ශතක ලබා ගත්තා.

මේ දත්ත සමඟින් ගාලු පුරේ අග නගරයට පිවිසෙන එංගලන්ත Lions ක්‍රීඩකයෝ සත්කාරකයන්ට දැඩි පීඩනයක් එල්ල කරනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවා. මංගල තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136කට සීමා වීමත් සමඟ එය තවදුරටත් සනාථ වන බවකුයි පෙනෙන්නට තිබුණේ.

Tom Hainesගේ ශතකය සහ තවත් අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් සංචාරකයෝ ලකුණු 400ක් ඉක්ම වූ ලකුණු පුවරුවක් ගොඩ නැගීමත් සමඟින් පෙර තත්ත්වය වඩාත් නරක අතට පිවිසෙන අයුරකුයි දක්නට ලැබුණේ.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරගයේ දෙවැනි ඉනිමේ සිට ඇල්ලූ අඩව්ව එංගලන්ත Lions කණ්ඩායමේ තරග සංචාරය අවසන් වන තුරුම නොකඩවා අල්ලාගෙන සිටීමට සමත් වුනා. එය නතර වන්නේ එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරමිනුයි.

සිව්දින තරගාවලියේ තරග 2 සඳහා මෙරට ක්‍රීඩකයෝ 17 දෙනෙක්ට තම දක්ෂතා මුදා හැරීමට අවස්ථාව ලැබීම ප්‍රශංසනීයයි. ඒ අතරින් වඩාත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා වූයේ 23 හැවිරිදි දකුණත් පිතිකරු නිශාන් මධුශ්ක.

ඔහු පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී පන්දු 423කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 241ක් ලබා ගත්තා. එය මෙම තරගාවලියේ වාර්තා වූ එක ම ද්විත්ව ශතකය ද වුනා.

ඉන් අනතුරුව ඔහු දෙවැනි තරගයේ දී ද දෙවැනි ඉනිමේ දී ශතකයක් ලබා ගනිමින් තරගාවලියේ ශතක 2ක් වාර්තා කළ එක ම ක්‍රීඩකයා බවට ද පත් වෙනවා. ඒ අනුව ඔහු සිව්දින තරගාවලිය නිමා කරන්නේ තරග 2ක ඉනිම් 4ක් ක්‍රීඩා කරමින් ලකුණු 364ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 91.00ක්.

පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන්කර ගන්නේ 22 හැවිරිදි වියේ පසුවෙන නායක නිපුන් ධනංජය. ඔහු තරග 4ක ඉනිම් 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 219ක්. ඊට පළමු තරගයේ දී පන්දු 170කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් එකතු කර ගත් ලකුණු 128ක් සහ දෙවැනි තරගයේ දී වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද ඇතුළත්.

අනතුරුව මෙම ලැයිස්තුවට එක් වෙන්නේ තරගාවලියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවන් අතර ප්‍රමුඛයෙන්ම ලියැවෙන්නේ 23 හැවිරිදි ලක්ෂිත මනසිංහ. ඔහු පිතිකරුවෙක් ලෙසින් තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 219ක් ලබා ගන්නා ලද අතර දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 9ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

ඔහු අවසන් තරගයේ දී පිතිකරුවෙක් ලෙසින් ඉනිම් දෙකේ දී ම ලකුණු 43 බැගින් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 61ක් පමණක් ලබා දෙමින් දවා ගන්නවා. එම දක්ෂතාවත් සමඟින් ඔහු තරගය නිමා වන විට තම පළමු පෙළ තරග දිවියේ ලකුණු 1000ක් සහ කඩුලු 100ක් සම්පූර්ණ කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ද එක් වීමට සමත් වෙනවා.

තරගාවලියේ අනෙකුත් වැඩි ලකුණු ලැබූ පිතිකරුවන් අතර දෙවැනි තරගයේ දී තරගාවලියට එක් වූ ලසිත් කෲස්පුල්ලේ ශතකයක් සමඟින් ලකුණු 175ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනෙනවා. ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතරව ඕෂඳ ප්‍රනාන්දු ද ශතකලාභියෙක් ලෙසින් මෙම තරගාවලිය නිමා කරනවා. ඔහු පළමු තරගයේ දී පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තා.

පිතිකරුවන් අතරින් නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සහ ලහිරු උදාර ද අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහට අමතරව කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූ ක්‍රීඩකයන් අතර කඩුලු 4 බැගින් දවා ගත් අම්ෂි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක සහ චාමික කරුණාරත්න ද කඩුලු 3 බැගින් ලබා ගත් විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම ද ලැයිස්තුගත වෙනවා.

තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෝ; නිපුන් ධනංජය (නායක) නිශාන් මධුශ්ක, ඔෂඳ ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත මනසිංහ, අම්ෂි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම.

එක්දින තරගාවලිය

පෙර තරගාවලිය ජය – පරාජයෙන් තොරව අවසන් කළ ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගාවලිය ආරම්භ කරන්නේ අවාසනාව කර පින්නා ගනිමින්. එම තරගයේ දී ප්‍රතිවාදීන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A ක්‍රීඩකයන් වෙත භීෂණය මුදා හරිනවා.

නමුත් එය ලත් තැන ම ලොප් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එතැන් සිට පැවති තරග දෙකේ ම ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ වාසියට නතුවෙනවා. එම තරගාවලිය වෙනුවෙන් ද ක්‍රීඩකයන් 17 දෙනෙක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කරනවා.

ඒ අතරින් දක්ෂතා දැක්වූ පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගැනීමට නායක සධීර සමරවික්‍රම සමත් වෙනවා. ඔහු තරග 3ක ඉනිම් 3 දී ලකුණු 137ක් ලබා ගන්නවා. ඊට පරාජිත තරගයේ දී පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 74ක් ද ඇතුළත්.

එහි දෙවැනි අසුන වෙන් වන්නේ නිල නොලත් ටෙස්ට් තරගයේ දී ශතකයක් ද වාර්තා කළ 24 වැනි වියේ පසුවෙන ලසිත් කෲස්පුල්ලේ වෙත. ඔහු තරග 3ක ඉනිම් 3ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 95ක්. ඊට දෙවැනි තරගයේ දී පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් වාර්තා කරන ලද ලකුණු 73ක් ද ඇතුළත්.

ඊට අමතරව 26 හැවිරිදි ඉදිරිපෙළ පිතිකරු සහන් ආරච්චිගේ ද තරග 3ක දී ලකුණු 88ක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දක්වනවා. ඔහුගේ ලකුණු එකතුව අතර පළමු තරගයේ දී පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 57 ද ඇතුළත්.

මෙම තරගාවලිය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ද එක් කර තිබීම විශේෂයි. ඔහු පළමු තරග 2ට ක්‍රීඩා කළ අතර එහි දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්. ඊට දෙවැනි තරගයේ දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 50ක් ඇතුළත්. එම දක්ෂතාවත් සමඟින් ඔහු මේ දිනවල නවසීලන්ත තරග සංචාරය ඉලක්ක කර ගනිමින් රැදැල්ලේ දී පැවැත්වෙන පුහුණුවීම් උදෙසා කැඳවෙනු ලබනවා.

මේ අතර අනෙකුත් පිතිකරුවන් අතරින් නුවනිඳු ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ නිපුන් ධනංජය ද අර්ධ ශතක වාර්තා කරමින් මේ ජයග්‍රහණයේ වැදගත් කොටස්කාරයන් වෙනවා.

පන්දු යැවීමේ දී කැපී පෙනෙන මෙහෙවරක නිරත වෙන්නේ පා දඟපන්දු යවන 28 හැවිරිදි දුශාන් හේමන්ත. ඔහු තරග 3 දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 11ක්. ඒ වෙනුවෙන් ඔහු ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ලකුණු 126ක් පමණයි.

මෙම තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ දෙවැනි තරගයේ දී ලකුණු 43කට ලබා ගත් කඩුලු 5යි. එය මෙම තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද වුනා. එමෙන් ම එම දක්ෂතාත් සමඟින් ඔහු List A ලැයිස්තුවේ කඩුලු 50 සීමාව පසු කිරීමට ද සමත් වෙනවා.

තරගාවලියේ තෙවැනි තරගයේ දී එක් වූ දකුණතින් මද වේගපන්දු යවන ඉසිත විජේසුන්දර තම List A ලැයිස්තුවේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මෙම තරගය උපයෝගී කර ගත්තා. ඔහු තරගය නිමා කරන විට පන්දුවාර 7ක් යවමින් නිලකුණු පන්දු වාරයක් ද සමඟින් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව පන්දු යවන්නන්ගේ ලැයිස්තුව සැරසෙන්නේ සහන් ආරච්චිගේ, සුමින්ද ලක්ෂාන් සහ දුනිත් වෙල්ලාලගේ වෙතින්. ඔවුන් කඩුලු 3 බැගින් ලබා ගන්නවා.

තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෝ: සධීර සමරවික්‍රම (නායක) ලසිත් කෲස්පුල්ලේ, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුශාන්, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම, සුමින්ද ලක්ෂාන්, දුනිත් වෙල්ලාලගේ, කවිශ්ක අංජුල, ලහිරු උදාර, නිපුන් ධනංජය සහ ඉසිත විජේසුන්දර.

එංගලන්ත Lions කණ්ඩායමේ අභියෝගය බාර ගනිමින් එය සාර්ථකව නිමා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<