IPL එකට නොදෙවැනි තවත් විස්සයි විස්ස ලීගයක්

එක්සත් අරාබි එමීර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021/22

2804

IPL තරගාවලිය වැනි මුහුණුවරකින් යුතු නව විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මේ තරගාවලිය ආරම්භ වන්නේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ [Emirates Cricket Board (ECB)] මූලිකත්වයෙන්. 

එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන Sheikh Nahayan Mabarak Al Nahayan එරට රජයේ ප්‍රබලතම ඇමතිවරයකු වන බැවින් තරගාවලිය අති සාර්ථක වනු ඇතැයි විදෙස් ක්‍රීඩා විචාරකයින්ගේ මතය වී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලිය සඳහා ලොව බොහෝ රටවල් සිය ක්‍රීඩකයන් සහභාගි කිරීමට දැඩි උනන්දුවෙන් යුතුව පසුවන බවත්, විශේෂයෙන් ඉන්දියාවේ ප්‍රබලතම ව්‍යාපාරිකයන්, බොලිවුඩ් නළු නිලියන් සහ IPL කණ්ඩායම් ද දැඩි උනන්දුවක් දක්වන බවත් එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Mubashir Usmani මහතා ප්‍රකාශ කර සිටිනවා.

කණ්ඩායම් 6ක් ඇතුළත් වන පරිදි පැවැත්වීමට නියමිත මේ එමිරේට්ස් විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් සහ එහි නම් ඉදිරි මාසය ඇතුළත තීරණය කිරීමට ද නියමිත බව වාර්තා වෙනවා. එසේම මේ තරගාවලිය ලොව විශිෂ්ටතම විස්සයි විස්ස ලීග් තරගාවලිය බවට පත් කිරීම එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<