දිවයින පුරා විසිරී පැතිරී සිටි එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පාන ක්‍රීඩකයන් රැසක් කණ්ඩායම් 24කට ගොනු කරමින් අන්තර් දිස්ත්‍රික් එක්දින ක්‍රිකට් තරගාවලිය මීට සති තුනකට ඉහත දී ආරම්භය දුටුවේය. ඉතාමත් උණුසුම් අන්දමින් ගලා ගිය තරග රාශියකින් අනතුරුව අද (02) අවසන් මහා තරගයේදී ප්‍රතිවාදී කෑගල්ල දිස්ත්‍රික්කය පරාජය කල කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයින් තරගාවලියේ ශූරතාවය තමන් සතු කරගත්හ.

සදීර සහ අසලංක ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙන යයි

ආසියානුකරයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙළ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට අද (01) ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය…

අද උදෑසන පී. සරා තණතිල්ල මතදී කාසියේ වාසිය දිනාගත් කෑගල්ල දිස්ත්‍රික් නායක ඉශාන් ජයරත්න ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. නමුත් ජාත්‍යන්තර තරඟ වලදී පවා වර්ණ පෙන්වූ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත පිතිකරණ බල ඇණියකින් සමන්විත කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයෝ මෙම ආරාධනය ඉතාමත් කැමැත්තෙන් භාර ගත්හ. ඒ අනුව තරඟයේ වාසිය මුල සිටම කොළඹ දිස්ත්‍රික්කයට හිමිකර දුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සාර්ථක සබඳතාවයක් පිහිටුවීය.

නිමාවුණු ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියේ දී ද ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්ෂතා පෙන්නුම් කළ ඩිල්ශාන් මුණවීර අද හතරේ පහර 10ක් සමගින් ලකුණු 47ක් රැස් කළ අතර ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට වැයවූයේ පන්දු 39ක් පමණි. අනෙක් අන්තයේ සිට මලිත් මධුරංග එක් කළ ලකුණු 41 කොළඹ දිස්ත්‍රික් ඉනිම ශක්තිමත් කිරීමට දායක විය. ඊයේ දිනයේ බංගලාදේශයට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි සේවයක් ඉටු කල කුසල් මෙන්ඩිස් අද දිනයේදීද තම වගකීම ඉටු කරමින් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ලකුණු 34ක් වාර්තා කළේය.

මුල්පෙළ පිතිකරුවන් දමා දුන් මෙම ශක්තිමත් අඩිතාලම ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉනිම ගොඩ නැගූ නායක අශාන් ප්‍රියන්ජන් අද පන්දු 98ක් පමණක් වැය කරමින් ලකුණු 107ක් රැස් කිරීමට සමත් විය. කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද මැදපෙළ ශක්තිමත් කල මෙම දකුණත් පිතිකරුවා අද ක්‍රීඩාකළ විශිෂ්ට ඉනිමට දැකුම්කළු හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහර 2ක් අන්තර්ගත විය. අවසන් පන්දුවාරය දක්වාම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ප්‍රියන්ජන් ක්‍රීඩා කළ වගකීම් සහගත ඉනිම නිසා කොළඹ දිස්ත්‍රික්කයට සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 295ක් රැස් කර ගැනීමට අවස්ථාව ලැබුණි.

පන්දු යැවීමේදී දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුලු 3ක් දවා ගත අතර නිසල තාරකගේ දකුණත් වේග පන්දුව හමුවේ, හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මලිඳු මධුරංගට සහ අශාන් ප්‍රියන්ජන්ට නැවත ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවිය. නමුත් මෙම පන්දු යවන්නන් දෙදෙනාගෙන්ම අද පන්දුවාරයකට ලකුණු 7 ඉක්මවා ලකුණු උදුරා ගන්නට කොළඹ දිස්ත්‍රික් පිතිකරුවන් සමත්කම් දැක්වීය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමිවිය. මෙම ඉලක්කය හඹායාම සඳහා කෑගල්ල ආරම්භ පිතිකරුවන් දෙදෙනා ලකුණු 42ක ආරම්භක සබඳතාවයක් එක් කරන ලදී. නමුත් 9 වැනි පන්දුවාරයේදී මෙම සබඳතාවය බිඳ හෙලූ ලහිරු මධුශංක එම පන්දුවාරයේදීම හශාන් දුමිඳුට තම කඩුල්ල අහිමි කළේය. අවසන් පූර්ව වටයේ දී නොදැවී අර්ධ ශතකයක් රැස් කරමින් කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම අවසන් තරගය කරා මෙහෙයවූ හශාන් දුමිඳුට අද ලකුණු නොලබාම දැවී යාමට සිදුවූ අතර එම සිදුවීම නිසා කෑගල්ල කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්විය.

මෙවන් වටපිටාවක පිටියේ එක්වුණු දකුණත් මැදපෙළ පිතිකරු ඇන්ජෙලෝ ජයසිංහ සහ කඩුලු රකින ක්‍රීඩක විශාද් රන්දික සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක විශිෂ්ට සබඳතාවයක් පැවැත්වීය. මෙම පිතිකරුවන් දෙදෙනාම ඉතාමත් දක්ෂ අන්දමින් පිතිකරණයේ යෙදෙමින් ප්‍රථම වරට කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයින් මත පීඩනයක් ගොඩ නැගීමට සමත් වූහ. නමුත් ඔවුන් දෙදෙනාම අර්ධ ශතක ලබා ගෙන ජයග්‍රාහී ඉලක්කයට ක්‍රම ක්‍රමයෙන් ලඟා වෙමින් සිටියදී ක්‍රියාත්මක වුනු ලක්ෂාන් සඳකැන් විශාද් රන්දිකව දවාගනිමින් මෙම සබඳතාවයට නැවතීමේ තිත තැබුවේය.

එතකින් නොනැවතුණු සඳකැන් තම චයිනමන් පන්දුවෙන් කෑගල්ල පසුපෙළ පිතිකරුවන් අන්දමන්ද කරමින් 39 වැනි පන්දුවාරයේදී දිල්රුවන්, ඇන්ජෙලෝ සහ සහන් යන පිතිකරුවන් තිදෙනාවම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීය. සඳකැන්ගේ මෙම විස්මිත පන්දු යැවීම හමුවේ පරාජය භාර ගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් කෑගල්ල දිස්ත්‍රික්කයට ඉතිරිව නොතිබුණි. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමට සුපිරි ජයක් ගෙනදීමට මූලිකත්වය ගත් ලක්ෂාන් සඳකැන් ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතරව ලහිරු මධුශංක සහ සචිත් පතිරණ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 72කින් කෑගල්ල දිස්ත්‍රික්කය පරාජයට පත්කල කොළඹ දිස්ත්‍රික්කය මෙම වසරේ අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළදූහ. තරඟාවලිය පුරාවට විශිෂ්ට පිතිකරණය නියැලෙමින් ලකුණු 272ක් රැස් කරගත් මන්නාරම කණ්ඩායමේ උදාර ජයසුන්දර වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර කඩුලු 11ක් බිඳ හෙලූ මහනුවර කණ්ඩායමේ කසුන් මධුශංක වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

කොළඹ – කඩුලු 6ක් දැවී ලකුණු 295 (පන්දුවාර 50): අශාන් ප්‍රියන්ජන් 107, ඩිල්ශාන් මුණවීර 47, මලිඳු මධුරංග 41, කුසල් මෙන්ඩිස් 34, මාධව වර්ණපුර 23, අකිල ධනංජය 3/75, නිසල තාරක 2/61.

කෑගල්ල – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 47.4): ඇන්ජෙලෝ ජයසිංහ 67, විශාද් රන්දික 60, පසිඳු ලක්ශංක 28, අකිල ධනංජය 17, ලක්ෂාන් සඳකැන් 5/39, ලහිරු මධුශංක 2/22, සචිත් පතිරණ 2/46.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට