මොංගෝලියාව, ටජිකිස්තානය සහ ස්විස්ටර්ලන්තයත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

395
(ICC)

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම සාමාජික රටවල් ලෙස මොංගෝලියාව, ටජිකිස්තානය සහ ස්විස්ටර්ලන්තය එක්ව තිබෙනවා. මේ පිළිබඳ නිවේදනය කළේ ICCයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දීයි. 

මෙම හමුව අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුනා. ආසියානු කලාපයේ 22 වන සහ 23 වන සාමාජික රටවල් ලෙස පිළිවෙලින් මොංගෝලියාව සහ ටජිකිස්තානය ICCයේ සාමාජිකත්වය ලබාගත් අතර ස්විස්ටර්ලන්තය යූරෝපයේ 35 වන සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලබාගත්තා. මේ නව සාමාජික රටවල් සමඟ ICC යේ මුළු සාමාජිකයින් ගණන රටවල් 106ක් දක්වා ඉහළ ගියා. ඉන් රටවල් 94ක් අර්ධ සාමාජික (Associates) රටවල්.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මොංගෝලියා ක්‍රිකට් සංගමය පිහිටුවා තිබෙන්නේ 2007 වසරේ දීයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට මූලිකත්වය දෙන ඔවුන්ගේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ක්‍රිකට් ක්‍රීඩා කරන 39%ක් කාන්තාවන් වීම විශේෂත්වයක් වෙනවා. 2021 වසරේ දී ජාත්‍යන්තර යොවුන් හරිත ක්‍රීඩා උළෙල මොංගෝලියාවේ දී පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ද තෝරාගෙන තිබීම විශේෂත්වයක්. 

ස්විස්ටර්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය 1817 වසර දක්වා දිවයනවා. කෙසේ වෙතත් ස්විස්ටර්ලන්ත ක්‍රිකට් ආයතනය පිහිටුවා තිබෙන්නේ 2014 වසරේ දීයි. මේ වන විට එරට ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 33ක් තිබෙනවා. එමෙන්ම ඔවුන් දේශීය තරගාවලි තුනක් ද වාර්ෂිකව ක්‍රියාත්මක කරනවා. 

ටජිකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටුවන්නේ 2011 වසරේ දීයි. එරට තුළ පිරිමි ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් 22ක් සහ කාන්තා කණ්ඩායම් 15ක් මේ වන විට ක්‍රියාත්මකයි. 

මේ අතර සැම්බියාවේ සහ රුසියාවේ ICC සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන්නට ද ICCය මේ හමුවේ දී තීරණය කළා. 

ICCය ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<