හිටපු පාකිස්තාන නායකයා නැවතත් අත්අඩංගුවට!

281

2018 සිට 2022 වසර තෙක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක Imran Khanව නැවත වරක් අත්අඩංගුවට ගනිමින් වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

මේ වන විට 70 හැවිරිදි වියේ පසු වන Imran Khan විසින් සිය ධුර කාලය තුළ දී ලැබුණු රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස අලෙවි කිරීමේ චෝදනාවකට ලක් වී ඇති අතර, එහි දී ඔහු විසින් සිය තනතුරේ බලය අවභාවිත කරමින් ඩොලර් 635,000කට වැඩි මුදලක් මෙම ත්‍යාග විකිණීම තුළින් උපයා ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ. 

මේ අනුව ඊයේ (06) දිනයේ දී පාකිස්තානයේ ලාහෝර් හි පිහිටි ඔහුගේ නිවස එරට පොලිසිය විසින් වටලමින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විටත් ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය වන Pakistan Tehreek-e-Insaf (PTI) විසින් මෙම අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී විශ්වාසභංගයක් මගින් බලයෙන් පහ කළ Imran Khan හට එතැන් සිට මේ වන තෙක් ප්‍රචණ්ඩත්වය ඇවිලීම, වංචා සහ දූෂණ, ත්‍රස්තවාදී චෝදනා ඇතුළු නඩු 150කට වැඩි ප්‍රමාණයක් නියම වී ඇති බවත් විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා. 

කෙසේ වෙතත් තවමත් ඔහු වෙනුවෙන් ඔහුගේ පාක්ෂිකයින් පෙළ ගැසීම විශේෂත්වයක්. ඊයේ සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව ද ඔහු වෙනුවෙන් සහය පළ කිරීමට පිරිස් එකතු වී තිබෙනවා. 

මීට අමතරව පසුගිය මැයි මස 09 වැනිදා ද Imranව අත්අඩංගුවට ගැනුණු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත ඉන් දින දෙකකට පසුව ඔහුව නිදහස් කෙරුණා. 

පාකිස්තානය විසින් බිහි කළ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම, නායකයෙකු ලෙස ද සැලකෙන Imran විසින් පාකිස්තානය විසින් මෙතෙක් දිනා ඇති එකම එක්දින ලෝක කුසලානය (1992) ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පාකිස්තානයට නායකත්වය දීමට ද සමත් වුනා. නමුත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දේශපාලනයට පිවිසුණු අතර මේ වන විට ඔහු හිටපු ක්‍රීඩකයකු මෙන්ම, ප්‍රවීණ දේශපාලකයකු ලෙස ද පාකිස්තානයේ නමක් දිනා ගෙන සිටිනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<