ශ්‍රී‌ ‌ලංකා‌ ‌සංචාරයේ‌ ‌දී‌ ‌Dravidට‌ ‌උසස්‌ ‌වීමක්‌ ‌ ‌

ඉන්දු‌ ‌-‌ ‌ශ්‍රී‌ ‌ලංකා‌ ‌ක්‍රිකට්‌ ‌තරගාවලිය‌ ‌2021‌ ‌

129

ශ්‍රී ලංකාව සමඟින් ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත තරග හයකින් යුත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිටපු ඉන්දීය ක්‍රීඩක Rahul Dravidට හිමිව ඇති බව වාර්තා වේ.

Dravidට අමතරව එම තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් පුහුණුකරුවන් ලෙස ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ සාමාජිකයන් පත්කිරීමට සූදානමින් ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පළමු තරගය ආරම්භ කිරීමට සතියකට පෙර ශ්‍රී ලංකාව වෙත යාමට සැලසුම් කර ඇත. පළමු තරගය ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ඉලක්ක කරමින් ඉන්දීය කණ්ඩායම බැංගලෝරයේ දී පුහුණු කඳවුරක් පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත්, වත්මන් කොරෝනා තත්වය සහ රට වසා දැමීමේ තීරණ නිසාවෙන් එම කඳවුරු නොපැවැත්වීමට සිදුව තිබේ.

තරගාවලියට සහභාගී වීම පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ, ඉන්දීය කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට පෙර නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සූදානමින් ඇති බවත්, ශ්‍රී ලංකාවේ පවතින රෙගුලාසීන්ට අනුව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ද නිරෝධායනය වීමට ඔවුන් සූදානම් බවයි.

ඉන්දියාව, වියට්නාමය, දකුණු ඇමරිකානු සහ දකුණු අප්‍රිකානු රටවල් සිට පැමිණෙන කොරෝනා එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබා ගත් පුද්ගලයින් හට එක්දිනක් නිරෝධායනය වීම අනිවාර්ය බව ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් ඊයේ (08) ප්‍රකාශ කර සිටියා.

එම නීති ජුනි 30 වැනිදා දක්වා පමණක් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ අතර ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත් වන විට මීට වඩා දැඩි නීති රීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ද බොහෝ ඉඩක් ඇත. එමෙන්ම එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයන්ට බලපාන නීති රෙගුලාසීන් වෙනස් වීමට ද ඉඩ ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලියට පිටත් වීමට පෙර කොරෝනා පරීක්ෂාව සිදු කර ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ පරීක්ෂණ වාර්තාවක් ද අවශ්‍ය වේ.

මීට අමතරව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සියලූම ක්‍රීඩකයන් හට කොරෝනා එන්නත් හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස දැනුවත් කර ඇති නමුත්, පිටත්ව යාමට පෙර මාත්‍රා ද්විත්වයම ලබා ගැනීමට කොපමණ පිරිසකට හැකි වේ දැයි අවිනිශ්චිතය.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම තේරීම සඳහා තේරීම් කමිටුව රැස්වන දිනය පිළිබඳව තොරතුරු ලැබී නොමැති නමුත් එය හැකි ඉක්මනින්ම සිදු වන බව වාර්තා වේ.

එමෙන්ම Shreyas Iyer ආබාධයකට ලක්ව ඇති නිසා මෙම තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම නායකත්වය ආරම්භක පිතිකරු Shikhar Dhawanට හිමි වීමට බොහෝ ඉඩක් ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<