විකට් ඉන්නකින් සහ ගොල්ෆ් පන්දුවෙන් ඔටුණු පලන් ක්‍රිකට් ලොව රජු

581
Sir Donald George Bradman - Picture: Dailymirror.co.uk)

සර් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් (Sir Donald George Bradman), එදාමෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ඔහුයි. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94ක් වන අතර එය එදාමෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු රැස් කළ ඉහළම ලකුණු සාමාන්‍යයයි. 

ටෙස්ට් තරග 52ක දී ශතක 29ක්, ද්විත්ව ශතක 12ක් සහ ත්‍රිත්ව ශතක 2ක් සමඟින් ලකුණු 6996ක් රැස්කර ගත් ඔහු, එංගලන්තයට එරෙහිව ලකුණු 5,028ක් රැස්කරමින් එක් කණ්ඩායමකට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ වාර්තාවට ද හිමිකම් කියනු ලබයි.

ඔහුගේ මෙම විශිෂ්ටත්වය නිසාම 1948 ඔහු නයිට් නාමයකින් පිදුම් ලැබූ අතර ලෝක ක්‍රීඩා සමාජ සම්මේලනය විසින් 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයන් 10 දෙනා අතරට ඔහු තේරිපත් විය. ජාත්‍යන්තර විස්ඩන් ක්‍රිකට් වර්ගීකරණයේ 20 වැනි සියවසේ හොඳම ක්‍රීඩකයා තේරීමට පත් කරන ලද 100 දෙනෙකුගෙන් යුත් ජූරි මඩුල්ලේ 100 දෙනාගේම යෝජිත නාමය වූයේ සර් ඩොනල්ඩ් බ්‍රඩ්මන්ගේ නාමයයි.

ලොව විශිෂ්ටතම පිතිකරුවා වුවත් ඔහුගේ මේ විශිෂ්ටත්වයේ ආරම්භය සිදු වන්නේ තරමක් වෙනස් අයුරකිනි. කුඩා ඩොන්ට ක්‍රිකට් පුහුණු වීම සඳහා ක්‍රිකට් පිත්තක් හෝ පන්දුවක් නොතිබිණි. එසේම ක්‍රීඩා කිරීමට ද කිසිවකු සිටියේ නැත.

ඔහු විකට් ඉන්නක් සහ ගොල්ෆ් පන්දුවක් ගෙන ගොල්ෆ් පන්දුව වතුර ටැංකියක් දෙසට විසිකරමින්, ඔහු වෙත නැවත පැමිණෙන පන්දුවට විකට් ඉන්නෙන් පහර දෙමින් පුහුණු වීමේ නිරත විය.

වතුර ටැංකියේ වක්‍ර මතුපිටේ ගැටුණු පන්දුව නැවතත් ඔහු වෙත පැමිණියේ විවිධ වේගයන්ගෙන් සහ විවිධ කෝණයන්ගෙනි. ඒ නිසාම ඔහුට පන්දුවට පහර දීමට පන්දුව වෙත වේගයෙන් චලනය වීමට සිදු වූ අතර එමගින් වේගවත් පාද චලනයකට ඔහු නිතැතින් හුරු විය. 

එසේම ගොල්ෆ් පන්දුවේ සියුම් චලනයක් පවා හඳුනා ගැනීමට ඔහුගේ ඇස හුරු විය. මෙම නිරන්තර පුහුණුවීම ලොව එදාමෙදාතුර බිහිවුණු විශිෂ්ටතම පිතිකරුවා ලෙස කිරුළු පැලඳීමට ඔහුට මග පෑදුවේය.

ජෝර්ජ් බ්‍රැඩ්මන් සහ එමලී බ්‍රැඩ්මන්ට දාව උපත ලද මේ මහා ශ්‍රේෂ්ඨයා ක්‍රිකට් දිවියට අත්පොත් තබනු ලබන්නේ වයස අවුරුදු 12ක කුඩා දරුවෙකුව සිටිය දී ලකුණු සටහන් කරන්නකු ලෙසය.

ඔහුගේ ඥාතියකු එවකට ග්‍රාමීය ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දැරූ අතර ඔවුන්ට ලකුණු සටහන් කරන්නකුගේ සහය අවශ්‍ය තිබූ අතර ඒ සඳහා කුඩා ඩොන්ව යොදා ගන්නා ලදි.

දිනක් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ අඩුවක් පැවතිනි. ඒ සඳහා ආදේශකයක් නොතිබුණු අතර ඒ වෙනුවට කුඩා ඩොන්ව යොදා ගැනීමට ඔවුන් තීරණය කරන ලදි. එහි දී තමන් සහභාගි වූ පළමු තරගයේ දී ම පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 37ක් සහ දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමින් සිය ක්‍රිකට් දිවියේ සම්ප්‍රාප්තිය සනිටුහන් කර ගන්නා ලදි.

වයස 19 දී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ සර් ඩොන් බ්‍රැඩ්මන් තමන් සහභාගි වූ පළමු තරගයේම ශතකයක් රැස් කළ අතර 1928 දී ඔහු ටෙස්ට් පිටියට අවතීර්ණ විය. සිය පළමු ටෙස්ට් තරග 3 අවසාන වන විටම ලකුණු සාමාන්‍ය 50.00ක් ඉක්මවූ ඔහු සිය ක්‍රිකට් දිවිය පුරාවටම ඉනිමක සාමාන්‍ය 50.00කට ඉහළින් රඳවා ගැනීමට සමත් විය.

1930 වසරේ අළුබඳුන තරගාවලියේ 3 වැනි තරගයේ පළමු දිනයේ දිවා ආහාරය දක්වා කාලසීමාවේ දී ලකුණු100ක් රැස්කළ ඔහු දිවා ආහාරය සහ තේ පානය අතරතුර කාලයේ තවත් ලකුණු 100ක් රැස්කළ අතර දිනය අවසාන වන විට ඔහු නොදැවී ලකුණු 309ක් රැස් කරගෙන සිටියේ දිනයක් තුල ත්‍රිත්ව ශතකයක් රැස් කළ ලොව එකම පිතිකරුවා බවට පත්වෙමින්.

තරග 5කින් සමන්විත එම තරගාවලිය අවසානයේ ඔහු රැස් කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 974කි. ශතකයක්, ද්විත්ව ශතක දෙකක් සහ ත්‍රිත්ව ශතකයක් රැස් කළ ඔහුගේ ඉනිමක සාමාන්‍ය 139.14ක් ලෙස සටහන් විය.

Sir Donald Bradman – (Picture: Indiatoday.in)

කිසිම පන්දු යවන්නකුට නැවතිය නොහැකි මේ අග්‍රගණ්‍ය පිතිකරුවා ඒ මොහොත වන විටත් එංගලන්ත කණ්ඩායමට ප්‍රබල අභියෝගයක්ව සිටි නිසා, 1931 එංගලන්ත කණ්ඩායමේ නායක ඩග්ලස් ජාලි, 1931-32 තරග සංචාරයේ දී සර් බ්‍රැඩ්මන්ගේ ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවීමට සිය පන්දු යවන්නන් මෙහෙයවන ලදි. සුප්‍රකට බොඩි ලයින් පන්දුකරණයේ ආරම්භය සිදු වන්නේ මේ අග්‍රගණ්‍ය පිතිකරුවා නිසාවෙනි.

කෙතරම් විශිෂ්ටයෙකු වුවත් 1934 එංගලන්ත තරගාවලිය එතරම් සුබ නොවිනි. ඒ වන විටත් ටෙස්ට් තරග 3ක දී එකදු ශතකයක් හෝ ඔහු ලබා ගත්තේ නැත. කෙතරම් දක්ෂ විශිෂ්ටයකු වුවත් අනික් සෑම ක්‍රීඩකයකුට මෙන්ම ලකුණු අතරට නොපැමිණි කාලයක් ඔහුට ද විය. සාමාන්‍ය පිතිකරුවෙකුට මෙය සාමාන්‍ය සිදුවීමක් විය හැකි වුව ද, සර් බ්‍රැඩ්මන් වැනි විශිෂ්ටයකුට මෙය එතරම් හුරුපුරුදු දෙයක් නොවිනි.

එහෙත් 4 වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ත්‍රිත්ව ශතකයක් රැස්කරමින් නැවතත් සිය සුපුරුදු තරග රටාවට අවතීර්ණ වීමට ඔහු සමත් විය. එපමණක් නොව 5 වැනි තරගයේ දී ද්විත්ව ශතකයක් රැස් කිරීමට ද ඔහු සමත් විය.

1948 වසරේ අළුබඳුන තරගාවලියේ 5 වැනි තරගය සර් ඩොන් බ්‍රැඩ්මන්ගේ අවසාන ටෙස්ට් තරගය වූ අතර එහි දී ඔහුට එක ඉනිමක් පන්දුවට පහර දීමට අවස්ථාව උදා විය. ඔහු එරික් හෝලිස්ගේ පළමු පන්දුවට ආරක්ෂාකාරී පහරක් එල්ල කළ අතර දෙවැනි පන්දුවෙන් ලකුණු නොලබාම දැවී ගියේ ක්‍රිකට් ලොව රජුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 99.94කට රඳවමිනි.

එසේම සිය ක්‍රිකට් ජීවිතය තුල දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබා ගත් ලකුණු ප්‍රමාණයෙන් 26%ක් ම ලබාගෙන ඇත්තේ සර් බ්‍රැඩ්මන් විසිනි. තමන්ට අවශ්‍ය ස්ථාන වෙත බිම දිගේ වේගයෙන් පන්දුව යොමුකිරීමේ හැකියාවෙන් පිරිපුන් මෙම අග්‍රගණ්‍ය පිතිකරුවා සිය ක්‍රිකට් ජීවිතය පුරාවටම එල්ල කර ඇත්තේ 6 පහර, 6ක් පමණි.

වසර 20ක ක්‍රිකට් දිවියේ අවසාන ඉනිමට මුහුණ දීමට පිටියට පිවිසි ඔහුට එංගලන්ත ක්‍රීඩකයන්ගේ ගෞරවාචාර හමුවේ සිය දෑස කඳුලින් තෙත්ව පැවති නිසා පන්දුව නිසි ලෙස දැකගැනීමට නොහැකි වීම ඔහුට ලකුණු නොලබාම දැවී යාමට හේතුව විය.

යම් හෙයකින් අවසාන තරගයේ ඔහු තවත් ලකුණු 4ක් ලබා ගත්තා නම් ඔහුගේ ඉනිමක සාමාන්‍ය 100.00ක් වනු ඇත.

ඔහුගේ ටෙස්ට් දිවියේ සමුගැනීමෙන් වසර 50කට පසු, 1997 වසරේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජෝන් හෝවර්ඩ් (John Howard) ඔහුව හඳුන්වා සිටියේ “ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ඨතම ඕස්ට්‍රේලියානු ජාතිකයා (greatest living Australian)” යනුවෙනුයි.

එපමණක් නොව ඔහුගේ රුව සහිත මුද්දර, මුදල් කාසි පමණක් නොව ඔහු ජීවතුන් අතර සිටින විට දී ම ඔහු වෙනුවෙන් කෞතුකාගාරයක් පවා නිර්මාණය කිරීමෙන් ඔහුගේ අද්විතීයත්වය කෙතරම් ද යන්න තහවුරු වෙයි.

ඔහුගේ උපන්දිනයෙන් වසර 100කට පසු, 2008 අගෝස්තු 27 වැනිදා Royal Australian Mint විසින් සර් බ්‍රැඩ්මන් අනුස්මරණ රත්‍රං ඩොලර් 5 සමරු කාසියක් එලි දැක්වූ අතර 2009 වසරේ දී ICC Cricket Hall of Fame වෙත ද ඔහුව ඇතුළත් කරන ලදි.

1908 අගෝස්තු 27 උපත ලද මේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයා, 2001 පෙබරවාරි 25 වැනිදා (වයස 92) මෙලාවින් නික්ම යන්නේ ක්‍රිකට් ලොවේ රජු ලෙස වැජඹෙමිනි.

Sir Don Bradman – (Picture: cricket.com.au)

විශිෂ්ටයන් කොතෙකුත් බිහි විය හැක. එහෙත් ක්‍රිකට් අද මෙන් දියුණු නොමැති, තාක්ෂණික පහසුකම් නැති, ආරක්ෂක ආම්පන්න නොමැති, කාල වකවානුවක, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ පෑ පෙළහර, කිසිම විශිෂ්ටයකුට සම කළ නොහැකි වනු නිසැකය.

සැ.යු: මෙම ලිපියේ දැක්වෙන මතයන් සහ අදහස් මෙම ලිපිය රචිත පුද්ගලයාගේ අදහස් වන අතර ThePapare.com හි නිල ප්‍රතිපත්ති හෝ ස්ථාවරය මෙයින් පිළිබිඹු නොකරන බව කරුණාවෙන් සලකන්න.

Free hit contributor – Dinesh Abeywickrama

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<