Bangabandhu ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන සතියේ

Bangabandhu විස්සයි විස්ස කුසලානය 2020

363
Bangladesh Cricket

Bangabandhu විස්සයි විස්ස කුසලාන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් 12 වැනිදා පැවැත්වෙන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබුණා. තරගාවලියට කණ්ඩායම් පහක් එක්වන අතර නොවැම්බර් මස තුන්වැනි සතියේ තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

Fortune Barishal, Beximco Dhaka, Minister Group Rajshahi, Gemcon Khulna හා Gazi Group Chattogram මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් ලෙස සඳහන්. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩකයින් 113 දෙනෙකු නොවැම්බර් 9 වැනිදා හා 10 වැනිදා විශේෂ ශාරීරික සුවතා පරීක්ෂණයකට මුහුණ දෙන අතර ඉන් ලකුණු 11 බැගින් ලබා ගන්නා ක්‍රීඩකයින් Bangabandhu තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට තෝරා ගනු ලබනවා. 

මේ අතර වසරක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan පසුගිය නොවැම්බර් 5 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සිට බංග්ලාදේශයට පැමිණ තිබුණු අතර ඔහුගේ තරග තහනම නිමා වී ඇති බැවින් Covid-19 පරීක්ෂණයෙන් අනතුරුව ඔහු ද පෙරකී ශාරීරික සුවතා පරීක්ෂණයට මුහුණ දෙන බව වාර්තා වෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

බංග්ලාදේශ සෞඛ්‍ය අංශවල විධානයන්ට අනුව එරටට විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කළ යුතුයි. කෙසේ වෙතත් Shakib තමාව එම නිරෝධායන කාල සීමාවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කටයුතු පිළිබඳ විශේෂඥයෙක් වන Debashish Chowdhury පවසා තිබුණා.

මේ අතර Mashrafe Mortazaට තරගාවලිය මඟ හැරෙන බව වාර්තා වෙනවා. ඒ ඔහුගේ පාදයේ ආබාධයක් හේතුවෙන්. බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික Minhajul පවසා තිබුණේ Mortaza ශාරීරික සුවතා පරීක්ෂණයෙන් ඉවත් කර තිබුනත්, කණ්ඩායම්වලට වෙන්දේසියෙන් තොරව කැමති ක්‍රීඩකයෙක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමට අදහසක් ඇති බවත්, Mortaza ඒ වන විට හොඳ ශාරීරික සුවතා මට්ටමක් ළඟා කරගෙන සිටියහොත් ඔහුට තරගාවලියට එක්විය හැකි බවත්ය. 

මේ අතර ප්‍රවීණ බංග්ලාදේශ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ද ශාරීරික සුවතා පරීක්ෂණයට ඇතුළත් කර තිබෙනවා. Mohammad Ashraful, Shahriar Nafees, Abdur Razzak, Ziaur Rahman, Farhad Reza හා Sohag Gazi වැනි ක්‍රීඩකයින් මෙවර තරගාවලියට එක්වීමට නියමිතයි. 

මෙම විස්සයි විස්ස තරගාවලිය Covid-19 ව්‍යාප්තිය තුළ බංග්ලාදේශ කණ්ඩායම පවත්වන දෙවන ක්‍රිකට් තරගාවලියයි. කණ්ඩායම් තුනක් සහභාගී කර ගනිමින් එක්දින තරගාවලියක් ද ඔවුන් මිට පෙර පැවැත්වූවා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<