RCB හැර ගිය කේන් වෙනුවට වෙනත් අයෙක් කණ්ඩායමට

3986

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් සති දෙකක කාලයක් පමණි. මේ වන විට සියලු කණ්ඩායම් තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණෙමින් තිබේ. 

කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියා ක්‍රීඩක කේන් රිචඩ්සන් තම කුළුඳුල් දරුවාගේ උපත සඳහා සහභාගී වීමට අවශ්‍ය බව පවසමින් තරගාවලියෙන් ඉවත් වන බව එම කණ්ඩායම පසුගිය දා තහවුරු කළේය. කේන් රිචඩ්සන්ගෙන් හිස්වන ස්ථානයට ඕස්ට්‍රේලියා දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා නම් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. 

මේ බව පසුගිය සඳුදා (31) එම කණ්ඩායම විසින් නිල වශයෙන් තහවුරු කළේය. 

සම්පාගේ ඇතුළත් කිරීමත් සමඟින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දඟපන්දු බලඇණිය තවත් ශක්තිමත් වනු ඇත. බැංගලෝර් කණ්ඩායමට මේ වන විට යුස්වේන්ද්‍ර චාහාල්, වොෂිංටන් සුන්දර්, මොයින් අලි සහ පවන් නෙගි වැනි ශ්‍රේණිගත කිරීම්වල සිටින දඟපන්දු යවන්නන් ඇතුළත් වන අතර එහි අලුත්ම අවිය ඇඩම් සැම්පා වේ.

“කේන් රිචඩ්සන් මේ තරග රටාවේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු නැති වීම අපිට ලොකු පාඩුවක් වේවි” රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මයික් හේසන් පැවසීය.

“කෙසේ වෙතත් කේන් සහ නයිකිගේ කුළුඳුල් දරුවාගේ උපත මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලයේම සිදුවෙනවා කියලා අපි දැනගත්ත දවසේ ඉඳන් අපි ඔහුට සහය දුන්නා අවශ්‍ය තීරණ ගන්න. මේක ඔහුට වගේම අපිටත් සතුටුදායක ආරංචියක්. ඒ නිසා අපි ඔහුට පූර්ණ සහය ලබා දුන්නා.” 

“මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී. ඉතින් මේ ක්‍රීඩාංගණවල තත්ත්වයත් තරගාවලියේ කොන්දේසිත් දිහා බලනකොට අපිට තේරුණා අපේ ප්‍රධානම දඟපන්දු යවන්නා වෙන චාහල්ට සහයෝගයක් දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් යොදාගන්න එක සුදුසුයි කියලා. ඒ නිසා අපි මේ අවස්ථාව යොදාගත්තා තවත් හොඳ දඟපන්දු යවන්නෙක් වන ඇඩම් සැම්පා එකතු කරගන්න.”

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපි බලාපොරොත්තු වෙන දඟ කැවීම තිබුනොත් සැම්පාගේ ඇතුළත් වීම අපිට ලොකු වාසියක් වේවි.” 

තවත් ක්‍රිකට් පුවත් 

එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය හා එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියා සංචිතයේ සාමාජිකයන් වන කේන් රිචඩ්සන් හා ඇඩම් සැම්පා මේ වන විට එංගලන්තයට ගොස් තිබේ.   

කේන් රිචඩ්සන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී මූලික වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට නම් කර තිබූ අතර ඔහු අලෙවි වූයේ ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකටය.

ඇඩම් සැම්පා ඉන්දීය නායක විරාත් කෝලි හමුවේ අතිශයින් සාර්ථක වී ඇති අතර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති සීමිත ඕවර තරග 21ක දී විරාත් කෝලි හත් වතාවක් දවා ගැනීමට සැම්පා සමත්ව ඇත. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා එම තරග 21 තුල දී පස් වතාවක් දවා ගැනීමට සැම්පා සමත්ව ඇත. ඇඩම් සැම්පා මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් තරග 11කට සහභාගී වී කඩුලු 19ක් දවා ගැනීමට ඔහු සමත් විය. එහි දී 14.73ක සාමාන්‍යයක් වාර්තා කළ සැම්පා ලකුණු ලබා දීමේ වේගය 7.54ක් ලෙස සටහන් කර තිබේ.

මෙම වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කොරෝනා වයිරසය හමුවේ දෙවතාවක්ම කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේය. කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල්දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කිරීමත් සමඟින් එම කාල රාමුව තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් තීරණය කළේය. 

නමුත් ඉන්දියාව තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව ඇත. එම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<