යුධ හමුදාවෙන් සුපිරි දස්කම්

862

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අංශයන්හි තෙවන ස්ථාන සඳහා වන තරඟ අද (16) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය. එහිදී අංශ දෙකේම තෙවන ස්ථානයන් තමා සතු කරගන්නට යුධ හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමත් විය.

පසුගිය ලිපි: විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්

පිරිමි අංශය.

යුධ හමුදාවට එරෙහිව ගුවන් හමුදාව.

තරඟයේ ප්‍රථම වටය ආරම්භ වී මඳ වේලාවක් යනතුරු කණ්ඩායම් දෙකම ලකුණින් ලකුණ උදුරාගනිමින් ඉදිරියට ගිය අතර ගුවන් හමුදාව අතින් සිදුවූ අතපසුවීම් කිහිපයක් හේතුවෙන් යුධ හමුදා කණ්ඩායම ලකුණු හතරක පරතරයක් ලබාගන්නට සමත් විය. යුධ හමුදාව වෙනුවෙන් දිලින සුධාරත්, චාමර මිහිරත් ප්‍රවේගකාරී ප්‍රහාරයන් එල්ල කළ අතර එම වටයේ ජය 25-16ක් ලෙස යුධ හමුදාව විසින් හිමිකරගන්නා ලදී.

දෙවන වටය සඳහා කලෙයි චෙල්වන් යොදාගෙන සාර්ථක පසු ප්‍රහාරයන් (back attacks) දියත් කළ යුධ හමුදා කණ්ඩායමට පහසුවෙන්ම ඉදිරිය ගත හැකිවිය. ඒ 25-17ක් ලෙස යුධ හමුදාව පෙරමුණේ තබමිනි.

තරඟය පුරාම ගුවන් හමුදාවේ ප්‍රමේෂ් සුදසිංහ තනි සටනක නියැලුණු අතර එකපිට එක වැරදි සිදුකරමින් තම වල කපාගන්නට ගුවන් හමුදාවේ සෙසු ක්‍රීඩකයන් සමත් විය. ජගත් සංජයගේ අත්දැකීම් වලට හෝ යුධ හමුදාවේ දැඩි ප්‍රහාරය ගැන පිළිතුරු නොමැති වූ අතර තෙවන වටයත් අවසන් වූයේ 25-20ක් ලෙස යුධ හමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටියදීය.

ඒ අනුව යුධ හමුදා කණ්ඩායම, 2016 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි අංශයේ තෙවන ස්ථානයට පත්විය. 

25-16, 25-17, 25-20 (යුධ හමුදාවට ජය)

තරඟයෙන් අනතුරුව යුධ හමුදා පුහුණුකරු සරත් ද සිල්වා ThePapare.com හා පැවසුවේ,

“අපේ ඉලක්කය වුණේ අවසන් තරඟය. මේ කණ්ඩායමට අවසන් තරඟය සඳහා හොඳින් සුදුසුකම් තිබුණා. කෙසේ නමුත් හොඳ දක්ෂතා සමඟින් අපි තෙවන ස්ථානය ලබා ගැනීම ගැන මම තෘප්තිමත්.” යනුවෙනි.

තරඟය ගැන අදහස් දැක්වූ ගුවන් හමුදා පුහුණුකරු නලීන් සම්පත් ThePapare.com හා පවසා සිටියේ,

“අවසන් තරඟය කරා යන්නටයි අපි බලාපොරොත්තු වුණේ. ඒත් දැන් කරන්න දෙයක් නැහැ. විදුලි බල මණ්ඩල කණ්ඩායමට අපේ (ගුවන් හමුදා) කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩකයන් වුණු කසුන් සහ තරිඳු මාරුවීමෙන් පසුව අප මෙවන් ස්ථානයක හෝ සිටීම ගැන මා සතුටු වෙනවා. අපි මීළඟ තරඟාවලියේදී මීට වැඩි දස්කම් වලට යනවා.”

කෙසේවෙතත් වාසනාව නම් සාධකය ගුවන් හමුදා කණ්ඩායමට තරඟාවලියේ මුල සිටම අහිමිව තිබුණේ ඔවුන්ගේ නිත්‍ය පුහුණුකරු චාල්ස් තිලකරත්න තරඟාවලියේ මුල සිටම පෙනෙන්නට නොසිටි බැවිනි.නලීන් සම්පත්ට ඔහුගේ වගකීම් වලට කරගසන්නට සිදුවූයේ ඉන් පසුව ය. ඒ අනුව බලන කල ඔවුන් මෙතෙක් දුර පැමිණීම හෝ සතුටුදායක ය. 


කාන්තා අංශය.

යුධ හමුදාවට එරෙහිව නාවික හමුදාව.

ඊයේ දිනයේදී තම ප්‍රබල ප්‍රහාරිකාවක් වූ ඩී. පෙරේරා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමට අහිමි වීමෙන් පසු, නාවික හමුදා කාන්තා කණ්ඩායමට අද හිමිවූයේ ප්‍රබල අභියෝගයකි. අනෙක් අන්තයෙන් නොසිතූ විරූ ගුවන් ප්‍රහාරයකට ලක්වූ යුධ හමුදා කණ්ඩායමටත් ඔප්පු කිරීමට යමක් ඉතිරිව තිබුණි. ඒ තමන් දුර්වල කණ්ඩායමක් නොවන බවයි.

ප්‍රථම වටය කරට කර වටයක් වූවත් එහි අග භාගයේදී ඩී. පෙරේරාගේ අඩුව නාවික කණ්ඩායමට හොඳින්ම දැනුණි. එන්. සංජීවනී ප්‍රහාරක අංශයේ සියලු බර කරට ගෙන ක්‍රීඩා කළ බවක් දිස්විය. එම වටය අවසන් වූයේ 25-18ක් ලෙස යුධ හමුදා වනිතාවන්ට ජය ගෙන එමිනි.

දෙවන වටයට හොඳින් අවතීර්ණ වූ යුධ හමුදා කණ්ඩායමේ තිලිණි වාසනා තමාට ලැබුණු සෑම අවස්ථාවක්ම සාර්ථක කරගත්තාය. යුධ හමුදා ප්‍රහාර හොඳින් සංවිධානාත්මකව එල්ල වූ ඒවා විය. නාවික හමුදා කාන්තා කණ්ඩායම එක් පහරකින් එක් ලකුණක් ලබා ගැනීමට හැකි ක්‍රීඩිකාවකගේ අඩුව ප්‍රදර්ශනය කරමින් සෑම විටම සංජීවනීගේ පිහිට පැතූ අතර ඉන් ඈට සිදුවූයේ යුධ හමුදා ක්‍රීඩිකාවන්ගේ නිබඳ අවහිරයන්ට ලක්වීමටයි. දෙවන වටය අවසන් කරමින් යුධ හමුදා කණ්ඩායම යළිත් 25-20ක් ලෙස ජය ගත්තේය.

තරඟයේ රැඳෙන්නට නම් අනිවාර්යයෙන්ම තෙවන වටය නාවික ක්‍රීඩිකාවන් විසින් ජයගත යුතුව තිබුණු අතර ඒ පීඩනය දරා ගැනීම ඔවුනට තරමක් අපහසු බව පෙනිණි. නාවික හමුදා පන්දු සකසන්නිය අතින් වැරදි කිහිපයක්ම සිදු වූ අතර ඒ සියළු අවස්ථාවන්ගේ වාසිය නොවරදවා ලබාගත්තේ යුධ හමුදාවේ තිලිණි සහ හෂිනි ලක්ෂිකායි. චතුරිකා මධුශානි ද යුධ හමුදාව වෙනුවෙන් ජවසම්පන්න ප්‍රහාරයන් කිහිපයක්ම එල්ල කළාය. කෙසේ වෙතත් එම වටයත් 25-19ක් ලෙස ජයගනිමින් මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ තෙවන ස්ථානයට පත්වන්නට යුධ හමුදා කාන්තා කණ්ඩායම සමත් විය. 

25-18, 25-20, 25-19 (යුධ හමුදා කාන්තා කණ්ඩායමට ජය)

තරඟයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ යුධ හමුදා කාන්තා කණ්ඩායමේ වොලිබෝල් පුහුණුකරු නිරෝෂන් නන්දන පැවසුවේ,

“අවසන් තරඟයට තමයි අපි මුල සිටම සැලසුම් කළේ. නමුත් ගුවන් හමුදාව, නාවික හමුදාවෙන් අනපේක්ෂිත පරාජයක් ලැබීමත් එක්ක අපට ඊයේ ගුවන් හමුදා කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවුණා. එහිදී පන්දු ලබා ගැනීමේ දුර්වලකමක් කණ්ඩායමෙන් මා දුටුවා. නමුත් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව අපේ ක්‍රීඩිකාවන් මනසින් බොහොම සූදානම් ව හිටියා. මේ අපි මන්චි ශූරතාවලියේ තෙවන ස්ථානයක් ලබාගත්ත පළමු අවස්ථාව.”

නාවික හමුදා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ කැලුම් දයාරත්න තරඟය ගැන දැරුවේ මෙවන් අදහසක්.

“අපේ මනා සබඳතාවයක් තිබුණේ නැහැ. ඊයේ සිදුවෙච්ච අනතුරත් එක්ක අපිට හිටපු වේගවත්ම ප්‍රහාරිකාව අපට අහිමිවුණා. ඇය වෙනුවෙන් ආදේශ කළ ක්‍රීඩිකාවට එතරම් සාර්ථක වෙන්නට බැරිවුණා. ඒක තමයි ශ්‍රී ලංකාවේ සෑම ක්‍රීඩාවකම තිබෙන ගැටළුව. ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නැති වූ විට ඊට ආදේශ කරන්නට සුදුසු අය හරි අඩුයි.”

කෙසේවෙතත් පරාජයෙන් අනතුරුව පවා නාවික හමුදා කණ්ඩායම් නායිකා එන්. සංජීවනී කණ්ඩායම ගැන දැරුවේ සුභවාදී අදහසකි.

“අද පැරදුනත් අපි පෙරේදා, ඉතිහාසයේ පළමු වතාවට ගුවන් හමුදා කණ්ඩායම පරාජය කළා. අපි අනිවාර්යයෙන්ම හොඳින් සංවිධානය වී මීළඟ තරඟයට එනවා.”

කෙසේවෙතත් ඔවුන්ගේ මීළඟ කඩ ඉම වන්නේ රූපවාහිනී ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරඟය වන බැවින් එහි ප්‍රතිවාදීන් බවට දැනටමත් පත්ව සිටින යුධ හමුදා කාන්තා කණ්ඩායමෙන් අද සිදුවූ පාඩුව හිලව් කරගැනීමේ කදිම අවස්ථාවක් ඔවුනට උදාවනු ඇත.

තරඟාවලියේ උණුසුම් තරඟයන් වන අවසන් තරඟ දෙක පැවැත්වෙන්නේ එළඹෙන 25වන දා ය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට