සමින්ද සහ කවික දක්ෂතා අතරට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

608

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තෙවැනි දිනය වූ අද (02) දවසේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට යාපනය කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු සහ කොළඹ කණ්ඩායමේ කවික ඩිල්ශාන් සමත් වුනා.

කොළඹ සහ යාපනය

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 272ක් රැස් කරගත්තා.

ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයන් තම පළමු ඉනිම අද අවසන් කළේ සියලු දෙනා දැවී ලකුණු 339ක් වාර්තා කරගනිමින්.

එම ඉනිම වෙනුවෙන් 25 හැවිරිදි දකුණත් පිතිකරු සමින්ද ප්‍රනාන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 123ක් රැස් කරගත්තා. මේ ඔහු විසින් මෙම තරගාවලියේ දී රැස් කරන ලද දෙවැනි ශතකය වන අතර මීට පෙර ද ඔහු ශතකයක් වාර්තා කළේ කොළඹ කණ්ඩායමටම එරෙහිව වීම විශේෂයි.

යාපනය ඉනිමේ 9 වැනි කඩුල්ල සඳහා සමින්ද ප්‍රනාන්දු සහ නිපුන් මාලිංග ලකුණු 135ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුණා. එහි දී නිපුන් මාලිංග පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් වාර්තා කර ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගාවලියේ මංගල අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන කවික ඩිල්ශාන් ලකුණු 124කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතරව නලින් ප්‍රියදර්ශන කඩුලු 2ක් දවා ගත් අතර කසුන් රාජිත සහ නිසල තාරක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 67ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ කොළඹ කණ්ඩායමට එම ඉනිමේ දී වාර්තා කිරීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 158ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට ප්‍රමෝද් මධුවන්ත සමත් වුනා. ඔහු පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 54ක් රැස් කරගත්තා. ඊට අමතරව කුසල් මෙන්ඩිස් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 39ක්.

පන්දු යැවීමේ දී දිලුම් සුධීර ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්තා. නිපුන් මාලිංග සහ නවෝද් පරණවිතාන අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 92ක් හඹා යන ඉනිමකට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් තෙවැනි දිනයට තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 25ක් වාර්තා කරගෙන සිටියා.

එහි දී නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 15ක් ද සහ නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 10ක් ද රැස් කරගෙන සිටියා.

කොළඹ – පළමු ඉනිම සියලු දෙනා දැවී 272 (110.5): ක්‍රිශාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් නොදැවී 114, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 5/48.

යාපනය – පළමු ඉනිම සියලු දෙනා දැවී 339 (93.3): සමින්ද ප්‍රනාන්දු 123, නිපුන් මාලිංග 80, නවෝද් පරණවිතාන 42, නිශාන් මධුශ්ක 24, සදීර සමරවික්‍රම 32, කවික ඩිල්ශාන් 6/124, නලින් ප්‍රියදර්ශන 2/68.

කොළඹ – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 158 (59.3): ප්‍රමෝද් මධුවන්ත නොදැවී 54, කුසල් මෙන්ඩිස් 39, ධනංජය ද සිල්වා 2/55, දිලුම් සුධීර 3/35, ජෙෆ්රි වැන්ඩර්සේ 2/22.

යාපනය කණ්ඩායම – දෙවැනි ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට) කිසිවෙකු නොදැවී 25 (4): 

මහනුවර සහ ගාල්ල

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිම අවසන් වූයේ තෙවැනි දිනයේ පෙරවරුවේ දීයි. ඒ වන විට ඔවුන් තම ඉනිමට ලකුණු 458ක් රැස් කරගෙන සිටියා.

ඔවුන්ගේ අවසන් කඩුලු ද්විත්වය පන්දු 29ක් පමණක් යවමින් දවා ගැනීමට ගාලු පන්දු යවන්නන් සමත් වුනා. මහනුවර ඉනිම අවසන් වන විට සුමින්ද ලක්ෂාන් ලකුණු 65කට කඩුලු 3ක් දවා ගනිමින් ගාලු කණ්ඩායමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතරව ඩිල්ශාන් මධුශංක, අකිල ධනංජය සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත් අතර ප්‍රවීන් ජයවික්‍රම එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන් තරගය තෙවැනි දිනයට නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 147ක් වාර්තා කරගෙන සිටියා.

ඔවුන්ගේ පළමු කඩුල්ල සඳහා ලකුණු 98ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් වූ සංගීත් කුරේ සහ පබසර වඩුගේ සමත් වුනා. සංගීත් කුරේ පළමු කඩුල්ල ලෙසින් ඉනිම අතහැර යන විට පන්දු 77කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් රැස් කරගත්තා.

දිනය අවසන් වන විට පබසර වඩුගේ පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 68ක් වාර්තා කරගෙන සිටියා. ඔහු අද දින රැස් කළේ තම පළමු පෙළ තරග දිවියේ 31 වැනි අර්ධ ශතකයයි.

ඔහු සමඟ අනෙක් අන්තයෙන් හෂාන් දුමිඳු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් රැස් කරගෙන සිටියා.

ගාලු ඉනිමේ දැවී ගිය එකම කඩුල්ලේ හිමිකාරීත්වය අශේන් ඩැනියෙල් සතු වුනා.

මහනුවර – පළමු ඉනිම සියලු දෙනා දැවී 458 (125.2): ඕෂඳ ප්‍රනාන්දු 127, කමිඳු මෙන්ඩිස් 108, ලහිරු උදාර 87, කසුන් විදුර 45, නිරෝෂන් දික්වැල්ල 38, ඩිල්ශාන් මධුශංක 2/83, අකිල ධනංජය 2/85, ධනංජය ලක්ෂාන් 2/57, සුමින්ද ලක්ෂාන් 3/65.

ගාල්ල – පළමු ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට) කඩුල්ලක් දැවී 147 (48.1): සංගීත් කුරේ 44, පබසර වඩුගේ නොදැවී 68, හෂාන් දුමිඳු නොදැවී 34.

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් මෙම තරග හෙට (03) දිනයේ නොපැවැත්වෙන අතර එම තරග සම්බන්ධයෙන් ගන්නා වූ තීරණ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<