තරුණ සේවා සභාපතිගේ ඩෑෂ් පහරට වොලිබෝල් පිටියෙන්ම විරෝධතා

152

නිලවරණ වරින් වර කල් දැමීම නිසා පසුගිය මාර්තු 31 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වූ ක්‍රීඩා සංගම් 18ක් වෙනුවෙන් කැඳවා තිබූ නාම යෝජනා භාර ගැනීම ජුනි 26 වැනිදා (සිකුරාදා) පස්වරු 2.00ට අවසන් විය.

ඒ අනුව ලැබී තිබූ සියලුම නාමයෝජනා අදාළ අපේක්‍ෂකයන් ඉදිරියේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝජිතයන් විසින් විවෘත කරන ලද අතර එම නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාද ලබාදී තිබිණි.

මෙම ක්‍රීඩා සම්මේලන 18 අතරට මෙරට ජාතික ක්‍රීඩාවේ පරිපාලනය වන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයද අයත් වූ අතර එදින ඒ සඳහා ඉදිරිපත් කර තිබූ නාමයෝජනා කිහිපයකටම විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරන ලද බව “මව්බිම”ට වාර්තා වේ.

වොලිබෝල් නිලවරණය සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ DSD/NSA/ELC/2/29 – ELC – 2015 – 2017 හා 2015.6.5 දිනැති ලිපියෙන් නාමයෝජනා කැඳවා තිබූ අතර එම නාමයෝජනා ඔහුගේ උපදෙස් පත්‍රිකාවේ දෙවැනි ඡේදයේ 3 වැනි අනුඡේදයට අනුකූලව ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් වොලිබෝල් නිලවරණය සඳහා ඉදිරිපත් කර තිබූ නාමයෝජනා කිහිපයක්ම ක්‍රීඩා පනතේ සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර තිබූ බවත් ඒ සඳහා ලිඛිතව විරෝධතා ඉදිරිපත් කරන ලද බවත් දැනගන්නට ඇත.
උදාහරණයක් වශයෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපති තනතුර සඳහා ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩකයකු වූ මර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතා සමඟ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඩබ්ලිව්.ජී.එස්. එරංදික මහතාද නාමයෝජනා භාරදී තිබිණි.

කෙසේ වුවත් එරංදික මහතා ජාතික මට්ටමින් වොලිබෝල් ක්‍රීඩා කර නැති බැවින් ඔහුගේ නාමයෝජනාව සමඟ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සහිත ලිපියක පිටපතක් නාමයෝජනා සමඟ නොවීම නිසා එය ක්‍රීඩා පනතේ 13, 14 හා 15 යන ඡේදවලට අනුකූලව ඉදිරිපත් කර නැති බවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිතව විරෝධතා භාරදී ඇත.
තවද ක්‍රීඩා පනතේ 14 වැනි නියෝගයට අනුව සුදුසුකම් සනාථ කිරීමට තවත් අපේක්‍ෂකයන් කිහිපදෙනකුද අපොහොසත්ව සිටි බැවින් ඒ අයට එරෙහිවද විරෝධතා ඉදිරිපත් කළ බව සඳහන්ය.
මෙම නිලවරණය කැඳවා ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් බැවින් නිවැරැදිව නාමයෝජනා ඉදිරිපත් කරන ලද පිරිස අපේක්‍ෂා කරන්නේ නීත්‍යනුකූලව කටයුතු කොට සාධාරණය ඉටු කරනු ඇතැයි යනුවෙනි.