ජනිත්ගෙන් පිට පිට අර්ධ ශතක ත්‍රිත්වයක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1592

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ තෙවැනි දිනය වූ අද (26) යාපනය කණ්ඩායමේ ජනිත් ලියනගේ පිට පිට තරග 3ක දී වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

26 හැවිරිදි දකුණත් පිතිකරු ජනිත් ලියනගේ මීට පෙර මහනුවර (85) සහ ගාල්ල (72) කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කළා.

ඊයේ දිනයේ ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ක්‍රීඩකයන් කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි කරගැනීම හේතුවෙන් අද ක්‍රියාත්මක වූයේ දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර තරගය පමණයි.

දඹුල්ල සහ යාපනය

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය වූ අද දිනය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන යාපනය ක්‍රීඩකයන් කඩුලු 7ක් දැවී ලකුණු 354ක් රැස් කරගෙන සිටියා.

ඒ දඹුලු කණ්ඩායම පළමු ඉනිමට වාර්තා කරගත් ලකුණු 283ට පිළිතුරු ලෙසින්. ඒ අනුව යාපනය ක්‍රීඩකයන් මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 71ක් ඉදිරියෙන් පසු වෙනවා.

අද තරගය ආරම්භ වූයේ යාපනය ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 45ක් රැස් කරගෙන සිටි අතරයි. දැවැන්ත ලකුණු ප්‍රමාණයක් නිර්මාණය වූ යාපනය ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වීම කැපී පෙනුණා. එහි දී ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 69ක් රැස් කරගත්තා.

ඊට අමතරව සමින්ද ප්‍රනාන්දු පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් වාර්තා කරගත්තා. පෙර තරග දෙකේ දී ම අර්ධ ශතක ඉනිම් වාර්තා කළ ජනිත් ලියනගේ මෙම තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා. ඔහු පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 69ක් රැස් කරගත්තා.

ඊට අමතරව අවිශ්ක තරිඳු පන්දු 56කට මුහුණ දෙමින් ලකුණු 40ක් වාර්තා කර ගත් අතර දිනය නිමා වන විට දිලුම් සුධීර පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් වාර්තා කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 141කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු, මාලිංග අමරසිංහ සහ අශාන් ප්‍රියංජන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

දඹුල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 283 (99.5): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ලසිත් අබේරත්න 68, මිනෝද් භානුක 53, චමිඳු විජේසිංහ 35, දුශාන් හේමන්ත නොදැවී 63, නුවන් ප්‍රදීප් 7/52.

යාපනය – පළමු ඉනිම තෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී 354 (118): නිශාන් මධුශ්ක 69, ජනිත් ලියනගේ 69, සමින්ද ප්‍රනාන්දු 52, අවිශ්ක තරිඳු 40, නවොද් පරණවිතාන 26, ධනංජය ද සිල්වා 25, ගීත් කුමාර 26, දිලුම් සුධීර නොදැවී 31, මාලින්ද පුෂ්පකුමාර 4/131.

හෙට (27) මෙම තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<