රාජකීයයෝ අපරාජිතව ශූරතාවයට උරුමකම් කියති

1317

සාන්ත පීතර විද්‍යාලය ලකුණු 32-13ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය අපරාජිතව දෙවන වරටත් සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස අභිෂේක ලැබීමට අද (9) සමත් විය.

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසාන සති අන්තය වූ මේ සති අන්තය වන විට අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලයට, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට මෙන්ම මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට පාසල් රග්බි ලීග් ශූරතාව දිනා ගැනීමට අවස්ථාව තිබුණි.‌

සත්කාරකයින් පරදා ආගන්තුකයින් දෙවැනි තැන දිනා ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ …….

කොළඹ රාජකීය රග්බි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අවසන් සංග්‍රාමයේ දී ප්‍රබල රාජකීය ක්‍රීඩකයින්ට දෙවැනි නොවෙමින් සාන්ත පීතර ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ අතර රාජකීය විද්‍යාලයට පළමු වරට සාන්ත පීතර මීටර 22 සීමාව ඉක්මවා යාමට මිනිත්තු 10ක්ම ගත වීම සාන්ත පීතර විදුහල යෙදූ පීඩනයට මනා නිදසුනක් විය.

ෂෙහාන් ලියනපතිරණගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පන්දුව හඹා ගිය සාන්ත පීතර ක්‍රීඩකයින් එතැන් සිටම රාජකීය ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් විය. මිනිත්තු තුනක් පුරා පියවරෙන් පියවර සාන්ත පීතර ක්‍රීඩකයෝ පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ඔවුන්ගේ උත්සාහය අසාර්ථක කරමින් පන්දුව නැවත හිමිකර ගැනීමට දැවැන්ත රාජකීය ඉදිරි පෙළ සමත් විය.

හත්වැනි මිනිත්තුවේ දී ගෝල කණුවලට මීටර 46ක් පමණ නුදුරින් සාන්ත පීතර කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර තරගාවලිය දක්ෂ ලෙස ක්‍රීඩා කළ ෂෙහාන් ලියනපතිරණ අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් යැවීමට සමත් විය. (සාන්ත පීතර 03-00 රාජකීය)

රාජකීය ක්‍රීඩකයෝ ඔවුන්ගේම අර්ධයට සීමා කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වූ අතර තරගයේ උණුසුම වැඩිවීමත් සමගම කණ්ඩායම් දෙකම අනෙක් කණ්ඩායම්වලට දඬුවම් පහරවල් හිමි කර දෙනු දක්නට ලැබුණි.

ඩී. එස්. හදවත් බිඳිමින් තෝමසුවන් පළඟ ශූරතාවය දිනයි

පළඟ ශූරතාවේ අපරාජිත වාර්තාව රැක ගනිමින් 2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ …..

25 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් පිටියෙන් ඉවතට යොමු කළ රාජකීය ක්‍රීඩකයෝ ‘Line Out’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන සිය සුපුරුදු ඉදිරි පෙළ ක්‍රීඩකයින් ලවා ‘Rolling maul’ අවස්ථාවක් මගින් තරගයේ පළමු වරට ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. ඉෆාම් ෆරීඩ් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර දුලාන් ගුණවර්ධන අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (සාන්ත පීතර 03-07 රාජකීය)

කණ්ඩායම් දෙකම තරගයට මෙන් අනෙක් කණ්ඩායමට දඬුවම් පහර අවස්ථා ලබා දුන් අතර 30 වන මිනිත්තුවේ දී සාන්ත පීතර විදුහලේ ෂෙහාන් ලියනපතිරණ දඬුවම් පහරක් සඳහා උත්සහ කළ නමුත් පන්දුව ගෝල කණුවලින් ඉවතට ගියේ රාජකීයයින් තවදුරටත් පෙරමුණේ තබමිනි.

පළමු අර්ධය අවසානයට මිනිත්තුවක් ඉතිරිව තිබිය දී සිය පසුපෙළට අවස්ථාවක් හිමි කර දෙමින් රාජකීය නායක සාබිත් ෆෙරෝස් සාන්ත පීතර ඉදිරි පෙළ මගහැර අලංකාර ධාවනයක නිරත වූ අතර පන්දුව මුබින් ෆලීල් වෙත භාර දෙනු ලදුව මුබින් දෙවැනි රාජකීය උත්සාහක දිනුම වාර්තා කරමින් පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත් විය. දුලාන් ගුණවර්ධන හට එහි ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට හැකි නොහැකි. (සාන්ත පීතර 03-12 රාජකීය)

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 03-12 රාජකීය විද්‍යාලය

පළමු අර්ධයේ තමන් සතු සියලුම ආයුධවලින් රාජකීය විද්‍යාලයට ප්‍රහාර එල්ල කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූ නමුත් ඉතා ඉවසීමෙන් එම සියලු ආක්‍රමණ නවත්වන්නට සංවිධානාත්මක රාජකීය ක්‍රීඩකයෝ සමත් වූහ.

දෙවන අර්ධය ආරම්භයේ පළමු පා පහරේ සිටම රාජකීය ක්‍රීඩකයෝ සාන්ත පීතරයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර ෂෙහාන් ලියනපතිරණගේ පා පහරවල් නිසි පරිදි ස්ථානගත නොවීම පීතරයින්ට ප්‍රබල අවාසියක් විය. 39 වන මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩකයෙකු පන්දුවට පා පහරක් දීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වීමත් සමඟ සාන්ත පීතර ක්‍රීඩකයින් පන්දුව ලබා ගත් නමුත් ඔවුන්ට පන්දුව ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් හිමි වූයේ නැත.

41 වන මිනිත්තුවේ දී සාන්ත පීතර ක්‍රීඩකයින්ට රාජකීය උත්සාහක දිනුම් සීමාව ආසන්නයේ ‘Line Out’ අවස්ථාවක් හිමි වූ නමුත් රාජකීය ක්‍රීඩක අධහන් එම ‘line out’ අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට ඉඩ ලබා දුන්නේ නැත. කෙසේ නමුත් ඉන් ක්ෂණයකට පසු රාජකීයයින්ගෙන් පන්දුව දිනා ගත් සාන්ත පීතර ක්‍රීඩකයෝ සිය ඉදිරි පෙළ යොදා ගනිමින් තරගයේ පළමු වරට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. ෆයිස් අබ්දුල්ලා එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර ෂෙහාන් ඉතා වැදගත් අමතර ලකුණු එක් කිරීමට සමත් විය. (සාන්ත පීතර 10-12 රාජකීය)

දිනය පුරා පන්දුව නිසි ලෙස ස්ථානගත කිරීමේ දුර්වලතා පෙන්වූ ෂෙහාන් ලියනපතිරණ ඉලක්ක කර ගනිමින් රාජකීය ක්‍රීඩක ජනිදු දිල්ශාන් පන්දුව ගුවනට මුසු කළ අතර ඔහුගේ බලාපොරොත්තු සඵල කරමින් පන්දුව රැක ගත් ෂෙහාන් නිසි ලෙස පන්දුව පිටියෙන් ඉවතට ස්ථානගත කිරීමට සමත් වූයේ නැත.

’Line out’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් රාජකීය ක්‍රීඩකයෝ සිය ඉදිරි පෙළ යොදා ගනිමින් සුපුරුදු ලෙස ඉදිරියට ගිය අතර සිය දැවැන්ත ඉදිරිපෙළ ක්‍රීඩකයින් අතරින් රිංගා ගිය ඉෆාම් ෆරීඩ් 46 වන මිනිත්තුවේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. දුලාන් ගුණවර්ධන අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (සාන්ත පීතර 10-17 රාජකීය)

රිච්මන්ඩ් – ඇලෝසියස් රිදී ජුබිලිය කා හට ද?

දකුණු පළාතේ ප්‍රධාන පාසල් දෙකක් වන රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය වාර්ෂිකව විවිධ…

ලකුණු හතක පරතරය අඩු කර ගැනීම සඳහා සාන්ත පීතර ක්‍රීඩකයෝ ප්‍රබල සටනක නිරත වූ අතර 51 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් ගෝල කණු අතරින් පා කර හරින්නට ෂෙහාන් ලියනපතිරණ සමත් විය. (සාන්ත පීතර 13-17 රාජකීය)

52 වන මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩක හිමන්ත හිරුශාන් හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර ක්‍රීඩකයින් 14කට සීමා වූ රාජකීය කණ්ඩායමට එරෙහිව ලකුණු පරතරය අඩු කර ගැනීමට සාන්ත පීතර කණ්ඩායමට පැහැදිලි වාසිදායක අවස්ථාවක් හිමි විය.

සාන්ත පීතර ක්‍රීඩකයෝ ලද වාසියෙන් ප්‍රයෝජන ගැනීමට අසමත් වූ අතර 54 වන මිනිත්තුවේ දී රාජකීය නායක සාබිත් ෆෙරෝස් අලංකාර ලෙස උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. දුලාන් ගුණවර්ධන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත පීතර 13-24 රාජකීය)

සිය පසුපෙළට පන්දුව ලබා දීමේ අරමුණින් නැවත තරග ආරම්භයත් සමඟම සාන්ත පීතර ක්‍රීඩකයින්ගෙන් පන්දුව ලබා ගත් ජනිදු දිල්ශාන් සාන්ත පීතර අර්ධයට විශිෂ්ට ධාවනයක නිරත වුන අතර සිය පසුපෙළ යොදා ගනිමින් ඉදිරියට ගිය රාජකීය ක්‍රීඩකයෝ 57 වන මිනිත්තුවේ දී පසිඳු ප්‍රනාන්දුගේ සුරතින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් විය. (සාන්ත පීතර 13-29 රාජකීය)

‘Off side’ වරදක් හේතුවෙන් රාජකීය විද්‍යාලයට 61 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වූ අතර දුලාන් ගුණවර්ධන ඉතා පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (සාන්ත පීතර 13-32 රාජකීය)

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින්ට එතරම් යමක් කිරීමට ඉඩ නොලැබුණු අතර පිට පිටම දෙවන වසරටත් සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ජය හිමි කර ගැනීමට සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් හා දුශාන් ලෙව්කේගේ පුහුණුකාරිත්වයෙන් බලගැන්වුණු කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

අවසාන ලකුණු තත්වය: කොළඹ රාජකීය විද්‍යාලය 32 (5T,1P,2C) – 13 (1T,1C,2P) බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: මලීෂ මධුමෙවන් (රාජකීය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

රාජකීය විද්‍යාලය: ඉෆාම් ෆරීඩ් (2T), දුලාන් ගුණවර්ධන (1P,2C), මුබින් ෆලීල් (1T), සාබිත් ෆෙරෝස් (1T), පසිඳු ප්‍රනාන්දු (1T)
සාන්ත පීතර විද්‍යාලය: ෂෙහාන් ලියනපතිරණ (1C,2P), ෆයිස් අබ්දුල්ලා (1T)

අපරාජිතව දෙවන වරටත් පාසල් රග්බි කිරුල දිනා ගැනීමට සමත් වූ කොළඹ රාජකීය විද්‍යාලයට ThePapare.com අප අපගේ උණුසුම් සුබ පැතුම්!

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<