දිමුත් සහ නුවන් දවසේ වීරයන් වෙයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

541
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ දෙවැනි දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්වීමට කොළඹ කණ්ඩායමේ දිමුත් කරුණාරත්න සහ යාපනය කණ්ඩායමේ නුවන් ප්‍රදීප් සමත් වුනා.

දිමුත් කරුණාරත්න දිනයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකරු වූ අතර නුවන් ප්‍රදීප් තම පළමුපෙළ ක්‍රිකට් තරගවල ඉනිමක හොඳම පන්දු යැවීම අද (25) වාර්තා කළා.

ඊට අමතරව කොළඹ කණ්ඩායමේ වමතින් දඟපන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය ගාලු කණ්ඩායමට එරෙහිව දෙවැනි ඉනිමේ ද කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 152කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ගාල්ල සහ කොළඹ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය දින දෙකක දී අවසන් වූයේ කොළඹ කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත් අතර කොළඹ ක්‍රීඩකයන් පෙර දිනයේ තරගය නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 110ක් වාර්තා කරගෙන සිටියා. අද ඔවුන්ගේ ඉනිම ලකුණු 152කට සීමා වුනා.

එම ඉනිම සීමා කිරීමේ දී අකිල ධනංජය ලකුණු 47කට කඩුලු 5ක් දවා ගත්තා.

ලකුණු 115ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක ගාලු ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 103කට සීමා වුනා. ඔවුන්ට තම දෙවැනි ඉනිමේ දී ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 18ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 47ක් රැස්කර ගත්තා. ඊට අමතරව පබසර වඩුගේ පන්දු 23ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද හෂාන් දුමිඳු ලකුණු 14ක් ද වාර්තා කරගත්තා.

ගාලු කණ්ඩායමේ අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට සංචාරක පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ. ඊට ගොදුරු වූ ක්‍රීඩකයන් අතර සංගීත් කුරේ (6), දිනේෂ් චන්දිමාල් (0), ප්‍රියමාල් පෙරේරා (0), සුමින්ද ලක්ෂාන් (1), චානක රුවන්සිරි (1), කවිශ්ක අංජුල (2), අකිල ධනංජය (0) සහ චලන ද සිල්වා (5) සිටියා.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දීද දක්ෂතා දැක්වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව ලක්ෂිත මධුශංක ලකුණු 22කට කඩුලු 3ක් ද නලින් ප්‍රියංකර කඩුලු 2ක් ද දවා ගත්තා.

එකී වාසියත් සමඟින් කොළඹ ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 219ක් පමණයි. ඔවුන් එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී රැස් කරගැනීමට සමත් වුනා.

එම හඹා යන ඉනිමේ දී අද තරගයේ නායකත්වය ඉසිලු දිමුත් කරුණාරත්න පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 125ක් රැස්කර ගත්තා.

දිමුත් සමඟ ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් ලකුණු 2කට දැවී ගිය පසු පිටියට පිවිසි නිපුන් ධනංජය පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 35ක් වාර්තා කරගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 110ක්.

අනතුරුව පිටියට එක් වූ රොෂේන් සිල්වා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 55ක් රැස්කර ගත්තා. ඔහු සහ දිමුත් අතර තෙවැනි කඩුල්ලට සබඳතාව නොදැවුනු ලකුණු 106ක්.

පන්දු යැවීමේ දී චලන ද සිල්වා සහ සුමින්ද ලක්ෂාන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ගාල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 267 (61.3): සංගීත් කුරේ 51, පබසර වඩුගේ 42, ධනංජය ලක්ෂාන් 24, ප්‍රියමාල් පෙරේරා 51, කවිෂ්ක අංජුල 33, ප්‍රභාත් ජයසූරිය 6/111, අශේන් බණ්ඩාර 2/04.

කොළඹ – පළමු ඉනිම සියලු දෙනා දැවී 152 (38.5): නිපුන් දනංජය 25, අශේන් බණ්ඩාර 35, සිතාර ගිම්හාන් 20, චානක රුවන්සිරි 3/45, අකිල ධනංජය 5/47.

ගාල්ල – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 103 (18): පබසර වඩුගේ 26, ධනංජය ලක්ෂාන් 37, ප්‍රභාත් ජයසූරිය 5/41, නලින් ප්‍රියදර්ශන 2/39, ලක්ෂිත මනසිංහ 3/22.

කොළඹ – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 221 (50.4): දිමුත් කරුණාරත්න නොදැවී 125, නිපුන් ධනංජය 35, රොෂේන් සිල්වා නොදැවී 55.

දඹුල්ල සහ යාපනය

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේ දී ද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ වැඩි පන්දුවාර ප්‍රමාණයක් අහිමි වුනා.

කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 159ක් රැස් කරගෙන සිටි අතර අද ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 283ක් වාර්තා කරගත්තා.

පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි ලසිත් අබේරත්න සහ මිනෝද් භානුකට අද දිනයේ දී එතරම් වේලාවක් පිටියේ රැඳී සිටීමට හැකි වූයේ නැහැ. එසේ වූවත් පසුපෙළින් පිටියට පිවිසි දුශාන් හේමන්ත පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 63ක් රැස්කර ගත්තා.

ඊට අමතරව චමින්ද විජේසිංහ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් වාර්තා කරගත්තා.

පෙර දිනයේ දී ලකුණු 28කට කඩුලු 2ක් දවා ගෙන සිටි නුවන් ප්‍රදීප් අද තවත් කඩුලු 5ක් ලකුණු 24ක් පමණක් ලබා දෙමින් දවා ගත්තා. ඒ අනුව ඔහු දඹුලු ඉනිම අවසන් වන විට ලකුණු 52කට කඩුලු 7ක් දවා ගත්තා.

ඊට අමතරව ධනංජය ද සිල්වා, දිලුම් සුධීර සහ ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය කණ්ඩායම වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයට තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 45ක් රැස් කරගෙන සිටියා. එහි දී නවෝද් පරණවිතාන පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් වාර්තා කරගෙන සිටියා.

දඹුල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 283 (99.5): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ලසිත් අබේරත්න 68, මිනෝද් භානුක 53, චමිඳු විජේසිංහ 35, දුශාන් හේමන්ත නොදැවී 63, නුවන් ප්‍රදීප් 7/52.

යාපනය – පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට) කිසිවෙකු නොදැවී 45 (18.4): නවොද් පරණවිතාන නොදැවී 24.

මෙම තරගය හෙට (26) තෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<