ධනංජය, හෂාන් සහ කමිඳු ශතක වාර්තා කරයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට 2022

861
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තෙවැනි දිනයේ දී ගාල්ල නායක ධනංජය ලක්ෂාන් සහ එම කණ්ඩායමේ ම හෂාන් දුමිඳු සහ මහනුවර නායක කමිඳු මෙන්ඩිස් ශතක වාර්තා කරමින් කැපී පෙනෙන පිතිකරුවන් බවට පත් වුනා.

දඹුල්ල සහ ගාල්ල

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දඹුලු ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 418ට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ තෙවැනි දිනය අවසන් කළේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය අතර මග නතර කරන විට කඩුලු‍ 7ක් දැවී ලකුණු 499ක් ලබා සිටිමින්.

තෙවැනි දිනයට තරගය ආරම්භ වන විට ගාලු ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 225ක් ලබා සිටියා. ඒ වෙද්දී හෂාන් දුමිඳු ලකුණු 59ක් ද ධනංජය ලක්ෂාන් ලකුණු 93ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.

දිනයේ පළමුවෙන් ම දැවී ගියේ නායක ධනංජය ලක්ෂාන්. ඒ වෙද්දී ගාලු ලකුණු පුවරුව ලකුණු 273ක් බවට පත්ව තිබුණා. ධනංජය ලක්ෂාන් පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 119ක්. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 205ක්.

අනතුරුව විශාද් රන්දික හා එක් වූ හෂාන් දුමිඳු සිව්වැනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් එක් කළා. ඉන් ලකුණු 51ක් ලබා ගත්තේ විශාද් රන්දික. ඔහු ඒ වෙනුවෙන් පන්දු 103කට මුහුණ දී සිටි ඊට හතරේ පහර 3ක් ඇතුළත්.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 82ක සබඳතාවක් එක් කිරීමට හෂාන් දුමිඳුගේ දායකත්වය ලැබුණා. ඒ අවස්ථාවේ ඔහුගේ සහායකයා වූයේ සුමින්ද ලක්ෂාන්. ඔවුන්ගේ

සබඳතාව අවසන් වෙන්නේ හෂාන් දුමිඳු පන්දු 375කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 167කට දැවී යෑමත් සමඟින්. අද ඔහු වාර්තා කළේ පළමු පෙළ තරගවල තමන්ගේ 7 වැනි ශතකයයි. එම ශතක අතර ඔහුගේ හොඳම ඉනිම ලෙසින් වාර්තා වෙන්නේ නොදැවී වාර්තා කරන ලද ලකුණු 168ක්.

සුමින්ද ලක්ෂාන් දිනයේ අවසන් ක්‍රීඩකයා ලෙසින් දැවී යද්දී පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ද ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු සමරකෝන් සහ අශාන් ප්‍රියන්ජන් කඩුලු 2 බැගින් බෙදා ගත් අතර මාලින්ද පුෂ්පකුමාර, දුශාන් හේමන්ත සහ නිමේෂ් ගුණසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

දඹුල්ල; පළමු ඉනිම (පළමු දිනය අවසාන වන විට පන්දුවාර 89.3ක දී කඩුලු 5ක් දැවී 332) සියලුම දෙනා දැවී 418 (116.1) නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, මිනෝද් භානුක 163, ලහිරු සමරකෝන් 37, අකිල දනංජය 3/98, චානක රුවන්සිරි 4/62

ගාල්ල; පළමු ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 63කදී කඩුලු 2ක් දැවී 225) තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී 499 (141) සංගීත් කුරේ 32, පබසර වඩුගේ 34, හෂාන් දුමිඳු 167, ධනංජය ලක්ෂාන් 119, විශාද් රන්දික 51, සුමින්ද ලක්ෂාන් 46, ලහිරු සමරකෝන් 2/45, අශාන් ප්‍රියංජන් 2/82


මහනුවර සහ කොළඹ

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 241ට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 218ක් පමණයි.

ඉන් අනතුරුව ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි දිනයේ දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 94ක් ලබා සිටියා. අද ඔවුන්ගේ ඉනිම ලකුණු 235කට සීමා වුනා.

පෙර දිනයේ නොදැවී ලකුණු 48ක් ලබා සිටි නායක කමිඳු මෙන්ඩිස් අද තම පළමු පෙළ තරගවල 5 වැනි ශතකය වාර්තා කිරීම කැපී පෙනුණා. ඔහු පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 114ක ලබා ගත්තා.

මහනුවර ඉනිම පාලනය කරද්දී ආරම්භක වේගපන්දු යවන කසුන් රාජිත ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව පෙර දිනයේ ම කඩුලු 3ක් ලබා සිටි ලක්ෂිත රසාංජනට එම සීමාවේ ම රැඳී සිටීමට සිදු වුනා. ඊට අමතර ව නිසල තාරක සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.

අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය තෙවැනි දිනයට නතර කරන විට, ජයග්‍රහණය සඳහා ලකුණු 259ක ඉලක්කයක් හඹා යන කොළඹ ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 114ක් ලබා සිටියා.

එහි දී නිපුන් ධනංජය පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ද, ක්‍රිශාන් සංජුල පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිනවා.

මහනුවර; පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (71) ඕෂද ප්‍රනාන්දු 105, කසුන් විදුර 43, ප්‍රභාත් ජයසූරිය 3/47, ලක්ෂිත රසාංජන 3/59, කසුන් රාජිත 2/43, නිසල තාරක 2/61

කොළඹ; පළමු ඉනිම (පළමු දිනය අවසාන වන විට පන්දුවාර 13.4ක දී කඩුලු 4ක් දැවී 28) සියලුම දෙනා දැවී 218 (73.5) නිසල තාරක 24, ලහිරු මධුශංක 80, ලක්ෂිත මනසිංහ 53, ප්‍රභාත් ජයසූරිය 20, අසිත ප්‍රනාන්දු 3/38, අශේන් ඩැනියෙල් 3/51, සචිඳු කොළඹගේ 2/37

මහනුවර; දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට පන්දුවාර 28ක දී කඩුලු 3ක් දැවී 94) සියලුම දෙනා දැවී 235 (71.2) කමිල් මිෂාර 25, කමිඳු මෙන්ඩිස් 114, සචිඳු කොළඹගේ 29, කසුන් රාජිත 5/48, ලක්ෂිත රසාංජන 3/79

කොළඹ; දෙවැනි ඉනිම (තෙවැනි දිනය අවසන් වන විට) කිසිවෙක් නොදැවී 114 (29) නිපුන ධනංජය නොදැවී 59, ක්‍රිශාන් සංජුල නොදැවී 52

මෙම තරග හෙට (13) සිව්වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<