නේපාලය සමඟ තරග කරන්නට දිල්රුවන්, තරංග, තිසර, මුණවීර සංචිතයට

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

18836

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඒ එළඹෙන ICC ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීම අරමුණු කරගෙනයි.

ඒ අනුව නේපාලය ශ්‍රී ලංකා සංයුක්ත කණ්ඩායම (Sri Lanka combined XI) සමඟ තරගාවලියක් මේ මස 11 වැනිදා, සිකුරාදා කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වනු ඇත.

එසේම නේපාල කණ්ඩායම මේ තරගයට සහභාගී වීමට පෙර පසුගිය දින කිහිපයේ දී, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමඟ පුහුණු තරග කිහිපයක් ද ක්‍රීඩා කරමින් ඔවුන්ගේ තරග අත්දැකීම් වැඩි දියුණු කරගෙන තිබෙනවා.

තරග අදියර කිහිපයකින් සමන්විත ICC ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් අදියරක් මාර්තු 15 වැනිදා සිට 22 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නේපාලයට අමතරව ඕමානය සහ නැමීබියාව ද සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ඇතුළත් ශ්‍රී ලංකා සංයුක්ත කණ්ඩායමට දිල්රුවන් පෙරේරා, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, ඩිල්ශාන් මුණවීර සහ සඳුන් වීරක්කොඩි යන ක්‍රීඩකයින් ඇතුලත්ව සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<