ධනංජය සහ චානක කැපී පෙනෙන දක්ෂතා අතරට

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට 2022

3577
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්වීමට ගාල්ල කණ්ඩායමේ චානක රුවන්සිරි සහ නායක ධනංජය ලක්ෂාන් සමත් වුනා.

දඹුල්ල සහ ගාල්ල

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දඹුලු ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 418ට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 225ක් ලබා සිටියා.

පෙර දිනයේ දඹුලු කණ්ඩායමේ නොදැවී ලකුණු 140ක් ලබා සිටි මිනෝද් භානුක අද තම ඉනිමට තවත් ලකුණු 23ක් පමණක් එකතු කරගෙන සිටිය දී දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 163ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන චානක රුවන්සිරි ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත්තා. චානක රුවන්සිරිගේ එම දක්ෂතාව දිනයේ හොඳම පන්දු යැවීම බවට පත් වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 68ක්. පබසර වඩුගේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 34කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙසින් අනෙක් ආරම්භක පිතිකරු සංගීත් කුරේ ලකුණු 32කට දැවී ගියා. පිට පිට පන්දුවාර දෙකක දී මේ කඩුලු දැවී යෑමත් සමඟින් පිටියට එක් වූයේ හෂාන් දුමිඳු සහ නායක ධනංජය ලක්ෂාන්.

ඔවුන් දෙදෙනා දිනය අවසන් වන විට අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් තෙවැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් එක් කළා. හෂාන් දුමිඳු පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද, ධනංජය ලක්ෂාන් පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ද ලබාගෙන සිටියා. ධනංජයගේ ඉනිම අද දවසේ පිතිකරුවෙක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුනා.

දඹුල්ල කණ්ඩායම; පළමු ඉනිම (පළමු දිනය අවසාන වන විට පන්දුවාර 89.3ක දී කඩුලු 5ක් දැවී 332) සියලුම දෙනා දැවී 418 (116.1) නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, මිනෝද් භානුක 163, ලහිරු සමරකෝන් 37, අකිල දනංජය 3/98, චානක රුවන්සිරි 4/62

ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට) කඩුලු 2ක් දැවී 225 (63) සංගීත් කුරේ 32, පබසර වඩුගේ 34, හෂාන් දුමිඳු නොදැවී 59, ධනංජය ලක්ෂාන් නොදැවී 93

මහනුවර සහ කොළඹ

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබාගත් ලකුණු 241ට පිළිතුරු ලෙසින් පළමු දිනයේ කඩුලු 4කට ලකුණු 28ක් ලබා අසාර්ථක වෙමින් සිටි කොළඹ ක්‍රීඩකයෝ පසු පෙළ පිතිකරුවන්ගේ පිහිටෙන් තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඔවුන් ඉනිම අවසන් කළේ සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගනිමින්. එම ඉනිම වෙනුවෙන් අංක 8 පිතිකරු ලහිරු මධුශංක පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා. ඊට අමතර ව අංක 9 පිතිකරු ලක්ෂිත රසාංජන පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 89ක්. ඊට අමතරව අංක 10 පිතිකරු ප්‍රභාත් ජයසූරිය ද පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු සහ අශේන් ඩැනියෙල් කඩුලු 3 බැගින් ලබා ගත් අතර සචිඳු කොළඹගේ කඩුලු 2ක් ද, අවිඳු තීක්ෂණ කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 94ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් නායක කමිඳු මෙන්ඩිස් මේ වන විට පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටිනවා.

මහනුවර කණ්ඩායමේ දෙවැනි ඉනිමේ බිඳ වැටුණ කඩුලු ත්‍රිත්වයේ හිමිකාරිත්වය කොළඹ කණ්ඩායමේ දකුණතින් පිට දඟ න්දු යවන 22 හැවිරිදි ලක්ෂිත රසාංජන සතු වුනා. ඔහු මේ වන විට කඩුලු 3ක් දවාගෙන සිටින අතර තරගයේ කඩුලු 6ක් ලබා ගෙන සිටිනවා.

මහනුවර කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (71) ඕෂද ප්‍රනාන්දු 105, කසුන් විදුර 43, ප්‍රභාත් ජයසූරිය 3/47, ලක්ෂිත රසාංජන 3/59, කසුන් රාජිත 2/43, නිසල තාරක 2/61

කොළඹ කණ්ඩායම; පළමු ඉනිම (පළමු දිනය අවසාන වන විට පන්දුවාර 13.4ක දී කඩුලු 4ක් දැවී 28) සියලුම දෙනා දැවී 218 (73.5) නිසල තාරක 24, ලහිරු මධුශංක 80, ලක්ෂිත මනසිංහ 53, ප්‍රභාත් ජයසූරිය 20, අසිත ප්‍රනාන්දු 3/38, අශේන් ඩැනියෙල් 3/51, සචිඳු කොළඹගේ 2/37

මහනුවර කණ්ඩායම; දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසන් වන විට) කඩුලු 3ක් දැවී 94 (28) කමිල් මිෂාර 25, කමිඳු මෙන්ඩිස් නොදැවී 48, ලක්ෂිත රසාංජන 3/40

මෙම තරග හෙට (12) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<