Greys සහ Reds අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

380
Dialog-SLC Invitation T20 Match

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරයන් සොයා යන ගමනේ අවසන් මහා තරගය සඳහා SLC Greys සහ SLC Reds කණ්ඩායම් අද (22) දින සුදුසුකම් ලබා ගත්තා. 

තරගාවලියේ අපරාජිතව සිටි SLC Greys ක්‍රීඩකයෝ පෙර සිටම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර අද තරගවලදී ඔවුන් සමඟ අවසන් මහා තරගයට සහභාගී වෙන්නේ කුමන කණ්ඩායම ද යන්න සඳහා SLC Blues සහ SLC Reds කණ්ඩායම් අතර සීතල යුද්ධයක් පැවතියා. ඒ ඔවුන් සහභාගී වන තරගවල දී ජයග්‍රහණය කිරීම හෝ තරග විසඳුමකින් තොරව අවසන් වන්නේ නම් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට පිවිසෙන කණ්ඩායමට එම අවස්ථාව හිමි වෙන බැවින්. 

කෙසේ වෙතත් පළමුව පැවති SLC Greys සහ SLC Blues කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමක් නොමැතිව අවසන් වූ අතර එම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුනා. දෙවැනියට පැවති SLC Greens  සහ SLC Reds අතර තරගයෙන් SLC Reds ක්‍රීඩකයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කරගැනීමත් සමඟ ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ජයග්‍රහණය සඳහා ලබා දෙන ප්‍රසාද ලකුණු දෙක එකතු කර ගනිමින්. 

SLC Blues සහ SLC Greys 

තම තීරණාත්මක තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් SLC Blues නායක ධනංජය ද සිල්වා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාවට ප්‍රතිවාදී දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys ක්‍රීඩකයන්ට ආරාධනා කළා. 

SLC Greys ක්‍රීඩකයන් ඒ වන විටත් මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියා. කෙසේ වෙතත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි SLC Greys ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 156ක් රැස් කරගත්තේ අර්ධ ශතක වාර්තා කිරීම් දෙකක් සමඟින්. 

ඉනිමේ පළමු අර්ධ ශතකය චරිත් අසලංක වාර්තා කළා. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් රැස් කරගත්තා. චරිත් මෙම තරගාවලියේ වාර්තා කරගත් දෙවැනි අර්ධ ශතකය මෙය වන අතර ඔහු මෙතෙක් මෙම තරගාවලියේ සහභාගී වී ඇත්තේ තරග 3කට පමණයි. 

චරිත් අසලංක නායක දසුන් ශානක හා එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 26ක දී ලකුණු 37ක සබඳතාවක් එක් කළා. දසුන් පන්දු13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් වාර්තා කරගත්තා. 

එම ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ 21 හැවිරිදි දකුණත් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු. මේ ඔහුගේ මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකයයි. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 50ක් වාර්තා කළා. 

චරිත් සහ නුවනිඳු අතර සිව්වැනි කඩුල්ලට වාර්තා වූ ලකුණු සබඳතාව 57ක්. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 48ක් පමණයි. 

පන්දු යැවීමේ දී ආරම්භක වමතින් වේගපන්දු යැවූ කළණ පෙරේරා ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ කඩුල්ල බැගින් දවා ගත්තා. 

‍අවසන් මහා තරගයට සුදුසකම් ලබා ගැනීමට නම් SLC Blues ක්‍රීඩකයෝ ලකුණු 157ක ඉලක්කයක් සපුරාගත යුතු වූවා. කෙමෙන් කෙමෙන් අයහපත් වන කාලගුණ තත්ත්වය හමුවේ ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ සධීර සමරවික්‍රම සහ ධනංජය ලක්ෂාන්. පෙර තරගවල දී තම කණ්ඩායම වෙනුවෙන් වැදගත් මෙහෙවරක් කළ ද මෙම තරගයේ දී ධනංජය ලක්ෂාන් හට රැස් කරගත හැකි වූයේ පන්දු 4ක දී ලකුණු 7ක් පමණයි. 

අනෙක් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රමට ඉන් අනතුරුව එක් වූයේ නිශාන් මධුශ්ක. නමුත් ඔවුන්ට ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට සිදුවූයේ තවත් පන්දු 10ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට Blues ක්‍රීඩකයන්ට පන්දුවාර 3.5ක් අවසානයේ රැස් කරගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 33ක් පමණයි.  

ඉනිම වර්ෂාව හේතුවෙන් නතර කරන විට සධීර සමරවික්‍රම පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටි අතර නිශාන් මධුශ්ක පන්දු 6කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 4ක් රැස් කරගෙන සිටියා. 

SLC Greys – කඩුලු 4ක් දැවී 156 (20) : ලසිත් කෲස්පුල්ලේ 19, චරිත් අසලංක 57, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 50, කළණ පෙරේරා 2/29. 

SLC Blues – කඩුල්ලක් දැවී 33 (3.5) : සධීර සමරවික්‍රම නොදැවී 20. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න : 

SLC Greens  සහ SLC Reds 

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස පැවති මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සැලසුම් කර තිබූ වේලාවට තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. රාත්‍රී 8.30ට ආරම්භ වූ මෙම තරගය පන්දුවාර 15ක තරගයක් ලෙස පැවතුනා.  

ඒ අනුව කාසියේ වාසිය දිනු SLC Reds නායක දිනේෂ් චන්දිමාල්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව SLC Greens  කණ්ඩායම සතු කිරීමයි. ඒ වන විට ද SLC Greens  ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැඳී සිටියා. 

කෙසේ වෙතත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි SLC Greens ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 114ක් රැස් කරගත්තා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සමින්ද ප්‍රනාන්දු පන්දු 36ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. 

ඊට අමතරව පැතුම් නිස්සංක පන්දු 13ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් රැස් කරගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් එක් වූ අතර එය ඉනිමේ හොඳම සබඳතාව ද වුනා. 

පන්දු යැවීමේ දී හිමේෂ් රාමනායක,සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා SLC Reds කණ්ඩායම වෙනුවන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් ගොඩ නැගුවා. එහි දී පළමුවෙන් දැවී ගිය අවිශ්ක ප්‍රනාන්දු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් රැස් කරගත්තා. 

දිනේෂ් චන්දිමාල් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් වාර්තා කරගත්තා. තරගය අවසන් වන විට අසේල ගුණරත්න පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 3ක් ද වාර්තා කරගනිමින් පිටියේ රැඳී සිටියා. 

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත් අතර සුමින්ද ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.  

ඒ අනුව SLC Reds ක්‍රීඩකයන් තම ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ  තවත් පන්දු 3ක් සහ කඩුලු 6ක් අතැතිවයි.

SLC Greens – කඩුලු 7ක් දැවී 114 (15) : සමින්ද ප්‍රනාන්දු 37, පැතුම් නිස්සංක 22. 

SLC Reds – කඩුලු 4ක් දැවී 118 (14.3) : අවිශ්ක ප්‍රනාන්දු 38, දිනේෂ් චන්දිමාල් 40, ලක්ෂාන් සඳකැන් 2/14. 

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 24 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙන අතර එම තරගය SLC Greys සහ SLC Reds අතර පැවැත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<