ඇමති සහ ක්‍රීඩා සංගම් අතර අලුත් නීති ගැන සාකච්ඡා

208
Dayasiri Jayasekara

ක්‍රීඩා පනතට අලුතින් එකතු කළ නියෝග මාලාව පිලිබඳව ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී ඊයේ (04) විශේෂ හමුවක් පවත්වන ලදී. එම හමුව පැවැත්වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ක්‍රිකට්, පාපන්දු, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා ඇතුළු මෙරට ක්‍රීඩා සංගම් සියල්ලම පාහේ නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටින ලදී.

පසුගිය ලිපි: මෙරට ක්‍රීඩාවට අලුත් නීති මාලාවක්

මෙරට මේ වන විට ක්‍රියාත්මක වන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත වන අතර 2013 වසරේ ජනවාරි මස 15 වන දින එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අංක 1793/3 දරන නියෝග පත්‍රය මගින් විශේෂ නියෝග කිහිපයක් පනවන ලදී. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අංක 1990/23 සහ 2016-10-27 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියෝග මාලාව අනුව එදින සිට පෙරකී නියෝග අහෝසි වූ අතර නව නියෝග ක්‍රියාත්මක වීම ආරම්භ විය.

මෙම නියෝග ක්‍රියාත්මක වූ දින සිට මාස 3ක කාලයක් ඇතුලත මෙම නියෝග වලට අනුකූල වන ලෙස සියලු ක්‍රීඩා සංගම් වල ව්‍යවස්ථා ද වෙනස් කල යුතු බව මෙම ගැසට් පත්‍රයේ සඳහන්.

කෙසේ වෙතත් ඊයේ පැමිණ සිටි ක්‍රීඩා සංගම් නිලධාරීන්  පෙන්වා දුන් කරුණක් වූයේ ක්‍රීඩා පනතට අලුතින් එකතු කල නියෝග වලට අනුකූල වන ලෙස තම සංගම් වල ව්‍යවස්ථා වෙනස් කළහොත් එම ව්‍යවස්ථා තම මවු සංගම් වල ව්‍යවස්ථා වලට පටහැනි වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සභික සහ හිටපු සභාපති රන්ජිත් රොද්‍රිගෝ මහතා නව නියෝග අනුව නිලවරණයන් පැවැත්වීමේදී පාපන්දු සම්මේලනයට සිදුවන ප්‍රායෝගික ගැටළුවක් පෙන්වා දෙන ලදී.

2016-10-27 අංක 1990/23 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ක්‍රීඩා සංගම් නිලධාරීන් තෝරා ගැනීමේ නව නීති රාමුව

(1) සෑම ජාතික ක‍්‍රීඩා සංගමයක්ම, පහත දැක්වෙන නිලධරයන් ද ඇතුළුව තම ව්‍යවස්ථාවේ දක්වා ඇති නිලධරයන් සංඛ්‍යාවන්ගෙන් සමන්විත වන කමිටුවක් තෝරා පත් කරගත යුතු ය :-

(i) සභාපතිවරයා සහ උප සභාපතිවරයා.

(ii) ලේකම් සහ සහකාර ලේකම්.

(iii) () ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයකු; හෝ

     () ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද සහතික ලත් ව්‍යාපාර ගණකාධිකාරී

හෝ ඊට ඉහළ සහතිකයක් ලබා ඇති ; හෝ

     () ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද බැංකුකරණ හා මූල්‍ය පිළිබඳ සහතිකයක් ලබා

ඇති; හෝ භාණ්ඩාගාරිකවරයකු , සහ

(iv) මූල්‍ය කළමනාකරණ ක්ෂේත‍්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති තැනැත්තකු විය යුතු සහකාර භාණ්ඩාගාරිකවරයකු.

මේ අනුව සියලු ක්‍රීඩා සංගම් වල ප්‍රධාන තනතුරු 6 සඳහාම පුද්ගලයන් තෝරා පත් කර ගත යුතු වන්නේ ඡන්ද විමසීමක් මගිනුයි. කෙසේ වෙතත් රංජිත් රොද්‍රිගෝ මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) පිළිගත් ක්‍රියා පටිපාටිය අනුව මෙරට පාපන්දු සම්මේලනයේ මෙතෙක් සිදුවූ ක්‍රියා පටිපාටිය ඡන්දයෙන් තේරී පත් වන සභාපතිවරයා විසින් තමන් සමඟ සහයෝගයෙන් රාජකාරි කල හැකි මහ ලේකම් වරයෙක් නම් කිරීම බවයි.

එවන් අවස්ථා වලදී අදාළ මව් සංගම් වල නීති රීති යටතේ කටයුතු කිරීමට අවසර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී. කෙසේ වෙතත් රොද්‍රිගෝ මහතා යලිත් මතු කල ප්‍රශ්නයක් වූයේ, තමන් එලෙස ක්‍රියා කළහොත් එය ක්‍රීඩා නීතියට පටහැනි බව පවසමින් නිලවරණයේදී තේරී පත් වීමට නොහැකි ඇතැම් පුද්ගලයන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ ඉඩ කඩ පවතින බවයි. එසේ වූ විට අධිකරණය නීතිමය කරුණු සලකා බලමින් සංගමයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාම වළක්වමින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීමට පවා ඉඩ කඩ ඇති බව ඔහු පෙන්වා දෙන ලදී.

එම මතය පිළිගත් අමාත්‍යවරයා තම නීති  නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේ එවන් ගැටලුකාරී ස්ථාන පිලිබඳව ගත හැකි ක්‍රියා මාර්ග සොයා බලන ලෙසයි.

තවත් නිලධාරීන් කිහිප දෙනෙකුම මතු කල කරුණක් වූයේ නව ගැසට් පත්‍රයේ නියෝග වලට අනුව සියලුම සංගම් වල අය වැය වාර්තා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනයට ලක් කල යුතු බවට පනවා ඇති නියෝගය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටළු මතු විය හැකි බැවින් විගනකාධිපතිවරයා විසින් අනුමත කරන ලද පෞද්ගලික විගණන සමාගමක් හරහා ගිණුම් විගණනය සිදු කිරීමට අවස්තාව ලබා දෙන ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාපන්දු සම්මේලනය වැනි රජයේ මුදල් භාවිත නොකරන සංගම් වල විගණන කටයුතු සඳහා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මැදිහත් වීමේ අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදී මතුවූ තවත් තර්කයක්. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා සංගම් නිලධාරීන් සහ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරියෙකු ද අතර විවිධ තර්ක විතර්ක රැසකින් පසු එම ගැටළුවටද ඵලදායී විසඳුමක් සෙවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු විය.

තවත් ගැටළු රැසකට පිළිතුරු ලබා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා සියලු ක්‍රීඩා සංගම් නිලධාරීන් හට දැනුම් දුන්නේ නව නියෝග ක්‍රියාත්මක කිරීමේදී සහ ඊට අදාළ වන පරිදි තම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේදී ඇති වන ගැටළුකාරී තත්ත්වයන් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙසයි. එම සියලු ගැටළු විසඳාගෙන හැකි ඉක්මනින් මෙරට දැනට ක්‍රියාත්මක 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හැකි ඉක්මනින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට