අසරණ මොහොතක උදව්වට ආ අසල්වැසියෝ

555

1996 ලෝක කුසලානය ආරම්භ වීමට හරියටම සති දෙකකට කලින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල අසල දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය විසින් දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදු කළහ.

ජීවිත 91ක් බිළි ගත් මෙම ප්‍රහාරය බලපෑමක් ඇති කළේ ශ්‍රී ලංකා ආර්ථිකයට පමණක් නොවේ. සති කිහිපයකින් මෙරට පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගවලටත් එයින් සිදු වූ බලපෑම සුළුපටු නොවීය.

1992 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

1987 වසරේදී සිව්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව 1991 වසරේදී පස්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත්…

ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් පැවැත්වුණ එවර ලෝක කුසලානයේ තරග හතරක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය අයහපත් බව පවසමින් ඕස්ට්‍රේලියානුවන් මෙරටට නොපැමිණෙන බව ප්‍රකාශ කළ අතර බටහිර ඉන්දියානු කොදෙව්වන් ද ඕස්ට්‍රේලියානුවන්ගේම අඩිපාරේ යන බව පෙනෙන්නට තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණීමට අදිමදි කළ ඕස්ට්‍රේලියානුවන්ට මෙරට ක්‍රිකට් බලධාරීන් අපූරු යෝජනාවක් ගෙන එන්නේ මේ අතරේ දී ය. මෙරටට පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම කෙලින්ම කටුනායක ගුවන්තොටුපොළින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගෙන ඒමටත්, එකඳු ප්‍රේක්ෂකයෙකු නොමැතිව තරග පැවැත්වීමටත් ශ්‍රී ලාංකික බලධාරීන් යෝජනා කළ ද ඕස්ට්‍රේලියානුවන් ඊට කැමති වූයේ ද නැත.

තත්ත්වය මෙසේ දෝලනය වෙමින් තිබිය දී ලෝක කුසලානයේ සමාරම්භක උළෙලට සතියකට පෙර අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමක් කල්කටාවේ දී පැවැත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ආනා පුංචිහේවා මහතා ඇතුළු සෙසු ශ්‍රී ලාංකික සාමාජිකයින් කල්කටා බලා පිටත්ව ගියේ අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියානු සහ කොදෙව් කණ්ඩායම් මෙරටට නොපැමිණෙන බව හොඳින්ම දැනගෙනය.

ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ ඕස්ට්‍රේලියානුවන් මෙන්ම කොදෙව්වන් ද ඒ වෙනුවෙන් ප්‍රසාද ලකුණු ඉල්ලා සිටි අතර ආනා පුංචිහේවා මහතා එකහෙළාම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

තත්වය තේරුම් ගත් එවකට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ක්ලයිව් වොල්කොට් දෙපිළටම සම සේ ලකුණු බෙදා දීමට යෝජනා කළ ද එයට ද පුංචිහේවා මහතා කැමති වූයේ නැත.

මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වූ අතර ශ්‍රී ලංකාව එක් ඡන්දයකින් පරාජය වන ආකාරයක් පෙන්නුම් කෙරුණි.

 

එක් එක් රටවලින් පැමිණි බලධාරීන් වෙනම වෙනම හමු වී සාකච්ඡා කළ ද එයත් එතරම් සාර්ථක වූයේ නැත.

අනතුරුව ක්ලයිව් වොල්කොට් මහතා හමු වූ පුංචිහේවා මහතා හැකි නම් ඡන්ද විමසීම ඊට පසුදින උදෑසනම කළ යුතු බවට ඉල්ලීමක් කළේය.

අවසානයේ පසුදා උදෑසන පැවති ඡන්ද විමසීමෙන් එක් ඡන්දයක බහුතරයකින් අපට ජය ගත හැකි වූයේ නවසීලන්ත නියෝජිතයා ඡන්ද විමසීමට ප්‍රමාද වී පැමිණීම හේතුවෙනි.

ඇත්තටම සිදු වී තිබුණේ උදෑසන 10.00 ආරම්භ කිරීමට කතිකා කරගෙන සිටි ඡන්ද විමසීම ක්ලයිව් වොල්කොට් මහතා විසින් හරියටම නියමිත වෙලාවට ආරම්භ කිරීම ය. නවසීලන්ත නියෝජිතයා ඒ වන විට සභාවේ නොසිටි අතර විනාඩි පහක ඇවෑමෙන් ඔහු සභාවට පැමිණෙන විට ඡන්ද විමසීම අවසන් වී තිබුණි.

රැස්වීමෙන් අනතුරුව ආනා පුංචිහේවා මහතා වෙත පැමිණි කෙන්යානු නියෝජිතයා තමන්ට ද ශ්‍රී ලංකාවට පැමිණීමට සැක සංකා තිබෙන බව පැවසීම පුංචිහේවා මහතා මවිතයට පත් කළේය.

කෙන්යානු කණ්ඩායම මෙහි නොපැමිණෙන්නේ නම් සිම්බාබ්වේ කණ්ඩායමත් ඔවුන්ගේ අඩිපාරේම යන බව ආනා පුංචිහේවා මහතා සක්සුදක් සේ දැන සිටියේය.

මේ වෙනුවෙන් යමක් වහ වහා කළ යුතු බැව් වටහා ගත් පුංචිහේවා මහතා හැකි ඉක්මනින් ඉන්දියානු සහ පාකිස්තානු නියෝජිතයින් හමුවීමට ගියේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්වය යහපත් බව පෙන්වීමට ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහි එවිය හැකි දැයි අප කළ යෝජනාවට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් එක පයින් කැමැත්ත ලැබුණි.

ඉතිහාසයේ මින් පෙර කිසිම දිනෙක මේ ආකාරයෙන් ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කර නැත.

නමුත් ආනා පුංචිහේවා මහතා මුහුණ දී සිටියේ ඊටත් වඩා ගැටලුවකටය. තරගය සඳහා හදිස්සියේ වර්ණ ඇදුම් සොයා ගැනීමට නොහැක. ඒ නිසා එම තරගයට යොදාගන්නට සිදු වුනේ සුදු පැහැති ඇදුම්ය. නමුත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දර්ශන තිර සියල්ල සකසා තිබුණේ නූතන එක්දින තරගවලට ගැළපෙන්නට කළු පැහැයෙන්ය. වහ වහාම අදාළ දර්ශන තිර සුදු පැහැයෙන් වර්ණගන්වන්නට ආනා පුංචිහේවා මහතාගෙන් ඉන්දියාවේ සිට මෙරට සිටි උදවියට උපදෙස් ලැබුණි.

මෙම සුවිශේෂී තරගයට සහභාගී වීමට ලෝක කුසලාන සමාරම්භක උළෙලෙන් අනතුරුව රටවල් තුනේම ක්‍රීඩකයින් එකම ගුවන් යානයක මෙරටට පැමිණියහ.

ඉන්දියානු සහ පාකිස්තානු ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කණ්ඩායමේ නම වීල්ස් එකොළොස් දෙනා ලෙසින් නම් විය. එහි නායකත්වය ලැබුණේ ඉන්දියාවේ මොහොමඩ් අසාරුඩීන්ටය.

කණ්ඩායම තෝරාගැනීමේ දී කිසිදු ගැටලුවක් ඇති වුනේ නැත. රටවල් දෙකේම ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ස්වකැමැත්තෙන්ම තරගයට සහභාගී වීමට කැමැත්ත ප්‍රකාශ කළහ.

තරගය වෙනුවෙන් පැවැත්වුණ මාධ්‍ය සාකච්ඡාව අතරතුර කණ්ඩායම තෝරාගැනීමේ දී ගැටලු ඇති වූයේ ද යන පැනයට පිළිතුරු දුන් පාකිස්තානු කණ්ඩායමේ වසිම් අක්‍රම් මෙලෙස ප්‍රකාශ කළේය.

“කණ්ඩායම් තෝරාගැනීමේ දී කිසිදු ගැටලුවක් ඇති වුනේ නැහැ. ඇත්තෙන්ම අපි මෙය හොඳින් සංවිධානය කළා. අපේ නායකයා අසාර්. එහි කිසිම ගැටලුවක් නැහැ.”

දේශපාලන මත ගැටුම් ඇති රටවල් දෙකක් මෙලෙස පොදු කාරණාවට එකට එක්වීම ගැන මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දුන් වීල්ස් කණ්ඩායමේ කළමනාකරු ඉන්ටිකාබ් අලාම් පැවසුවේ “අපි මේ වැඩේට දේශපාලනය ගාව ගන්නේ නැතුව ඉමු යනුවෙනි.”

ඉතාම හදිස්සියේ සූදානම් වූ තරගයක් බැවින් වසීම් අක්‍රම්ට සිය ක්‍රීඩා පාවහන් පවා අමතක වී තිබුණා. අවසානයේ අක්‍රම්ට පාවහන් යුගලක් ලබා දුන්නේ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින්ය.

තරගය ආරම්භ වීමට පෙර සාම්ප්‍රදායික නැටුම්, ගැයුම් ඇතුළත් පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙම තරගය සජීව ලෙසින් විකාශය කිරීමට ද කටයුතු සම්පාදනය කර තිබුණි.

මෙම සුවිශේෂී තරගයේ කාසියේ වාසිය දිනූ විල්ස් කණ්ඩායමේ නායක මොහොමඩ් අසාරුඩීන් ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ශ්‍රි ලංකා වේලාවෙන් උදේ 10.30ට ආරම්භ වූ තරගය නැරඹීමට සෑහෙන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. නමුත් ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් යන පාකිස්තානු වේගපන්දු සුසංයෝගය ඉඩ ලබා නොදුන්හ.

ලකුණු 16ක් ලකුණු පුවරුවේ සටහන් වන විට ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියත් තුන්වැනි කඩුල්ලට පිටියට එක්වූ අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග  ලකුණු 70ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. ගුරුසිංහ ලකුණු 34කටත්, රණතුංග ලකුණු 32කටත් දැවී යෑමේ ප්‍රතිඵලය වූයේ නියමිත පන්දුවාර 40 තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 168කට සීමා වීමය. ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ අනිල් කුම්බ්ලේ ලකුණු දොළහට කඩුලු 04ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වීල්ස් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවන් වූයේ සචින් තෙන්දුල්කාර් සහ මොහොමඩ් අසාරුඩීන්ය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 36ක් සහ ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය. මුත්තයියා මුරලිදරන් සහ උපුල් චන්දන කඩුලු දෙක බැගින් දවා ගත්තත් පන්දුවාර 34.3ක් ඇතුළත ජයග්‍රාහී ඉලක්කය පසු කර යන්නට වීල්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ එවකට ක්‍රීඩා ඇමති ලෙස කටයුතු කළ එස්. බී. දිසානායක මහතාය. එමෙන්ම විදේශ ඇමති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ද විශේෂිත අමුත්තන් අතර විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අනිල් කුම්බ්ලේ තරගයේ වීරයා බවට පත්විය. මෙම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ දකුණු අප්‍රිකාවේ සිරිල් මිච්ලි සහ පාකිස්තානයේ මෙහෙබූබ් ෂාහ් යන විනිසුරුවන්ය.

සෙසු ලෝකයා ශ්‍රී ලංකාව තනිකරමින් නැගි සිටිය දී ආසියානු අසල්වාසීන් අප සමඟ රැඳී සිටි ආකාරය සැබැවින්ම අතිවිශේෂයි. එමෙන්ම ඉන්දියානුවන් සහ පාකිස්තානුවන් මෙහි නොපැමිණියා නම් 1996 ලෝක කුසලාන ජයග්‍රහණය යථාර්ථයක් නොවීමට වැඩි ඉඩකඩක් තිබූ බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<