ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කෝලිගේ සිහිනය බිඳ දමති

2080
Sri Lankan batsman Dhananjaya De Silva (C) raises his bat after completing his century (100 runs) during the fifth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 6, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ඉන්දීය ක්‍රිකට් රණ පිටිය තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු සේනාවන් රැස්කර සිටිය ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් ඒ සියලු බලාපොරොත්තු වළලා දැමීම හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (06) දිල්ලි නගරයේ දී නිමා විය.

කෙසේ වෙතත් දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ලබා ගත් ජයග්‍රහණය හේතුවෙන් 1-0ක් ලෙසින් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කෝලි දඩයම අත්නොහැර ඉදිරියටම

ජයග්‍රහණය වෙනුවෙන් තම ජීවිතය වුවද පරදුවට තැබීමට සූදානමින් සිටින විරාත් කෝලි අද (05) ඒ වෙනුවෙන්ම වූ තීරණයක්…

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 410ක ඉලක්කයක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසාන දිනය නිමා වෙද්දී කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 299කි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 111කි. ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 5ක අවශ්‍යතාවකි.

තරගය නතර කරන අවස්ථාව වන විට රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74ක් ද නිරෝෂාන් දික්වැල්ල නොදැවී ලකුණු 44ක් ද ලබා සිටියහ.

තම මංගල ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී යමින් දෙවැනි  ඉනිමේ දී අර්ධ ශතකයක් ලබාගත් සිව්වැනි ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රීඩකයා වෙමින් රොෂේන් අද රැස්කර ගත් ලකුණු සංඛ්‍යා නොදැවී 74කි. ඔහුගේ ඉනිමට පන්දු 154ක් වැය වී තිබූ අතර හතරේ පහර 11ක් ඊට ඇතුළත් ව තිබුණි. නිරෝෂාන් දික්වැල්ල නොදැවී සිටි ඉනිමේ වැය කළ පන්දු සංඛ්‍යාව 72කි. ඊට හතරේ පහර 6ක් ද ඇතුළත්ව තිබුණි.

තෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භයේ සිටම ඉන්දීය නායක විරාත් කෝලි තමන්ගේ සම්පූර්ණම ජවය යෙදුවේ මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙනි. එහෙත් මේ පළපුරුදු දඩයක්කාරයා තම නිජබිමේ දී තවත් දරුණු වෙද්දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනා තරගය ගෞරවනීය ලෙස නිමා කළේ කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම හරි අපූරුවට මෙල්ල කරමිනි.

කෙසේ වෙතත් අවසන් තරගය පුරා මෙන්ම තරගාවලිය පුරා ද සුවිශේෂී දක්ෂතා දැක්වීම හේතුවෙන් ඉන්දීය නායක විරාත් කෝලි අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ ද වීරයා ලෙසින් නම් කෙරුණි.

ඉන්දීය ක්‍රීඩකයෝ අද පෙරවරුවේ අවසන් දිනයට අවතීර්ණ වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල ඉතා පහසුවෙන් දවා ගනිමිනි. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 36ක් පමණි. ඉන් හරි අඩකටම මුහුණ දුන් මැතිව්ස් රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවකට දැවී යද්දි ලබා සිටියේ පන්දු 20කට එක් ලකුණක් පමණි.

අනතුරුව පිටියට පිවිසියේ නායක දිනේෂ් චන්දිමාල් ය. අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා සමඟින් එක්වූ චන්දිමාල් දිවා විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 84ක සබඳතාවක් එක් කළේ ඉන්දීය පන්දු යවන්නන්ගේ ඉලක්කයන් අඩපණ කරමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැඳී තිබුණේ කඩුලු 4ක් දැවී ලකුණු 119ක් ලෙසිනි.

ඉන්දීය ඉලක්කයම වූ ජයග්‍රහණය සොයා යන ගමනේ හිසරදයක්ව තිබූ එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට දහවල් විවේකයෙන් පසුව යැවුණ 8 වැනි පන්දු වාරයේ දී රවිචන්ද්‍රන් අශ්විශ් සමත් විය. වැඩි වගකීමක් දරමින් පිටියේ සජීවීව සිටිය යුතුම වූ චරිතයක් වූව ද ඉන්දීය අභියෝගය හමුවේ එවර අසමත් වූ චන්දිමාල් පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 36ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූයේ තම යොවුන් පිතිකරුවාට තරගයේ වගකීම බාර කරමිනි.

රවිචන්ද්‍රන් අස්වින්ගේ පන්දුවකට චන්දිමාල් දැවී යන විට ධනංජය සමඟ එක්ව 5 වැනි කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 112ක් විය. අනතුරුව ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා තම ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය 188 වැනි පන්දුවේ දී රැස් කිරීමට සමත් වූවේ හතරේ පහර 13ක් සහ හයේ පහරක් ද තම ඉනිමට එක් කරමිනි. එවන් ඉනිමක් ක්‍රීඩා කළ ද දිනයේ අවාසනාවන්තම පිතිකරු වූයේ ඔහු මය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 205ක්ව තිබිය දී කලවයේ සිදු වූ ආබාධයක් හේතුවෙන් ධනංජය නොදැවුණ ක්‍රීඩකයෙක් ලෙසින් කඩුල්ල හැර යන විට පන්දු 219කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 119ක් ලබා සිටියේය.

අසේල හා කුසල් ජනිත් එක්දින සංචිතයට

ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට්…

අනතුරු ශ්‍රී ලංකා ඉනිමේ පිටියේ රඟපෑවේ රොෂේන් සිල්වා සමඟින් නිරෝෂාන් දික්වැල්ලය. ඔවුන් දෙදෙනා තරගය නිමා කරන විට හය වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 94ක සබඳතාවක් එක් කර තිබුණි. එය ශ්‍රී ලංකා ඉනිමේ ගැලවීමේ කඩුලු සබඳතාව ද විය.

කඩුලු ලබා ගැනීමේ දී රවින්ද්‍ර ජඩේජා ලකුණු 81කට කඩුලු 3ක් දවා ගනිමින් පෙරමුණ ගත් අතර මොහොමඩ් සමී සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුල්ල බැගින් ලබා ගත්හ. දිනය අවසාන වෙද්දී ශ්‍රී ලංකා ඉනිම නිමා කළ නොහැකි බැව් පසක් කර ගත් ඉන්දීය නායකයා සේ ම ආරම්භක පිතිකරුගේ භූමිකාව රඟ පෑ මුරලි විජේ ද පන්දු වාරය බැගින් යැවුහ. එහෙත් ප්‍රතිඵලය ශුන්‍ය ය.

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5): මුරලි විජේ 155,ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි 243, රෝහිට් ෂර්මා 65,  ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 373 (135.3):  දිල්රුවන් පෙරේරා 42, ඇන්ජලෝ මැතිව්ස් 111, දිනේෂ් චන්දිමාල් 164, සධීර සමරවික්‍රම 33, මොහොමඩ් සමී 2/85, ඉෂාන්ට් ෂර්මා 3/98, රවින්ද්‍ර ජඩේජා 2/86, රවිචන්ද්‍රන් අශ්වින් 3/90)

ඉන්දියාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ඉනිම අත් හිටවූවා 246 (52.2): ශිකර් ධවාන් 67, චෙටෙස්වර් පුජාරා 49, විරාත් කෝලි 50, රෝහිට් ෂර්මා නොදැවී 50

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 299 (103.0): (සිව්වැනි දිනය නතර කරන විට පන්දු වාර 16.0ක් අවසානයේ කඩුලු 3ක් දැවී 3; ධනංජය ද සිල්වා නොදැවී 13, රවින්ද්‍ර ජඩේජා 2/05) ධනංජය ද සිල්වා නොදැවී පිටියෙන් ඉවත් වූවා 119, දිනේෂ් චන්දිමාල් 36, රොෂේන් සිල්වා නොදැවී 74, නිරෝෂාන් දික්වැල්ල නොදැවී 44, රවින්ද්‍ර ජඩේජා 81/3

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<