මහනුවර ක්‍රීඩා සමාජය තම සුපුරුදු දක්ෂතා අතරට

678
KSC vs Police

සිව්වන වටයේ පැවති තවත් තීරණාත්මක තරගයක් වන මහනුවර ක්‍රීඩා සමාජයත් පොලිස් ක්‍රීඩා සමාජයත් අතර තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදි අද (26) පැවැත්විණි.

පසුගිය ලිපි: CH&FC පරදා හැව්ලොක් ක්‍රීඩකයින් නොකඩවා සිව්වන ජයග්‍රහණය වෙතට

ක්‍රීඩාංගනය අවට වැසිබර කාලගුණයක් ඉසිලිවුවද එය ක්‍රීඩාවේ උණුසුමට කිසිදු ලෙසකින් බාධාවක් නම් නොවීය. පෙර වටයේ දී ගුවන් හමුදාව හමුවේ ලද පරාජය හේතුවෙන් මහනුවර  ක්‍රීඩා සමාජයට මෙම තරගයේ ජය තීරණාත්මක එකක් විය. දෙපිලම හොඳින් තරගය‍ට අවතීර්ණ වුවත් පලමු අර්ධය 17-09ක් ලෙස පෙරමුණ ගනිමින්, සමස්ත තරගය 34-09ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය ජය වාර්තා කරන ලදී.

තරගය ආරම්භ වීමත් සමඟම දෙපිලම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරනු ලැබූ අතර පළමු මිනිත්තු කිහිපය තුල පොලිස් ඉදිරිපෙල ක්‍රීඩකයන්ගේ දක්ෂතා කැපීපෙනිණි.

පළමු අර්ධයේ පළමු මිනිත්තු 15ක් අවසන් වීමට පෙර පොලිස් කණ්ඩායමට දඩුවම් පහරක් හිමිවිය. එය සාර්ථක කරගත් පොලිස් ක්‍රීඩක රජිත සැන්සොනි තරගයේ පළමුවන ලකුණු කිහිපය තම කණ්ඩායමට හිමිකරදුණි (පොලිස් 03-00 මහනුවර).

පොලිස් ආක්‍රමණ හමුවේ හොදින් තරගයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයින් තම පළමු උත්සහක දිනුම වාර්තා කළේය. කංවන රාමනායක එම උත්සහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය තිළින විජේසිංහ විසින් සාර්ථක කරගන්නා ලදී. (පොලිස් 03-07 මහනුවර).

මහනුවර පිල වාර්තා කල පලමු උත්සක දිනුමත් සමඟ ඔවුන් තරගයේ පෙරමුණ ගන්නා ලදී. නමුත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව පොලිස් කණ්ඩායමට හිමි වුණු දෙවන දඩුවම් පහරත් සාර්ථක කර ගැනීමට රජිත සන්සෝනිට හැකිවිය (පොලිස් 06-07 මහනුවර).

නමුත් මහනුවරට හිමිවුණු දඩුවම් පහර ෆුල් බැක් ක්‍රීඩක තිලිණ විජේසිංහ සාර්ථක කරගැනීම හේතුවෙන් මහනුවර කණ්ඩායම තවදුරටත් තරගයේ පෙරමුණ ගනු ලැබීය. (පොලිස් 06-10 මහනුවර).

පලමු අර්ධයේ මැද භාගය වන විට තරගය මදක් උණුසුම් වූ අතර තම පරිණතභාවය හා ක්‍රීඩාවේ වූ අත්දැකීම් උපයෝගී කරගත් මහනුවර සුපිරි ක්‍රීඩක ෆාසිල් මරිජා විසින් මහනුවර කණ්ඩායම වාර්තා කල දෙවන උත්සහක දිනුම වාර්තා කර ලදී. එහි ප්‍රවර්තනයද තිලිණ විජේසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදී (පොලිස් 06-17 මහනුවර).

පලමු අර්ධයේ අවසාන මිනිත්තු කිහිපය තුල දඩුවම් පහර දෙකක් පොලිස් කණ්ඩායමට හිමි වූ අතර ඉන් එකක් පමණක් රාජිත සැන්සෝනි විසින් සාර්තක කර ගන්නා ලදී. මෙසේ පලමු අර්ධය නිමා වූයේ මහනුවර පිල ලකුනු 17:09ක් ලෙසින් පෙරමුනේ පසුවිය.

ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 17 : 09 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය තුල මහනුවර කණ්ඩායම තම සුපුරුදු ප්‍රබල ක්‍රීඩා විලාසය පෙන්නුම් කරමින් තම ලකුණු පුවරුව වෙත තවත් ලකුණු 17ක් එකතු කර ගනු ලැබුවේ, පොලිස් කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා නොදෙමිණි.

දෙවන අර්ධ තුලත් තිලින විජේසිංහ හා රිචඩ් ධර්මපාල වැනි ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනුනු අතර දෙවන අර්ධය ආරම්භ වූ විගසම පොලිස් කණ්ඩායමට හිමි වූ දඩුවම් පහර රාජිත සන්සොනි අසාර්තක කර ගන්නා ලදී.

මහනුවර කණ්ඩායම පෙන්නුම් කල දක්ෂ ක්‍රීඩා රටාව හේතුවෙන් දෙවන අර්ධය තුල තවත් උත්සහක දිනුම් 3ක් වාර්තා කරන්නට මහනුවර ක්‍රීඩකයින් සමත් විය. නායකත්වයේ වගකීම් පූර්ණ කරමින් රොෂාන් වීරරත්න උත්සහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තනය තිලින විජේසිංහ විසින් සාර්තක කර ගන්නා ලදී (පොලිස් 09-24 මහනුවර).

මීලඟ උත්සහක දිනුම් දෙක ශොහාන් පතිරණ හා රිචඩ් ධර්මපාල විසින් වාර්තා කල අතර එහි ප්‍රවර්තනයන් දෙකම අර්ෂාඩ් ජමල්ඩීන් විසින් අසාර්තක කර ගන්නා ලදි. (පොලිස් 09-34 මහනුවර).

ගුවන් හමුදාව සමඟ පැවති තරගය පරාජය වීමෙන් අනතුරුව නැවත මහනුවර ක්‍රීඩකයන් තම සුපුරුදු දක්ෂතා මෙම තරගයේදී දක්වූ අතර ඉදිරි තරගවලදීත් මහනුවර ක්‍රීඩකයින් සුපුරුදු දක්ෂතා අතරට පැමිනේවියැයි බොහෝ දෙනාගේ අදහස විය. එමෙන්ම පොලිස් ක්‍රීඩා සමාජයේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතාද මෙම තරගයේදී කැපී පෙනුණි.

සම්පූර්ණ ලකුණු: මහනුවර ක්‍රීඩා සමාජය 34 : 09 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: තිලින විජේසිංහ

තවත් රග්බි ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට