මහනුවරින් ගුවන් හමුදාවට අර්ධ ශතකයක් 

113

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටය අද (25) ආරම්භ විය. දෙවන වටයේ දෙවන තරගය සඳහා ගුවන් හමුදා කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් තරග වැදුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී ය. එම තරගය ලකුණු 55–08ක් ලෙස ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.

යුද – පොලිස් ගැටුමට ජයග්‍රාහකයෙක් නැහැ

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරගයක් යුද හමුදා ක්‍රීඩා සමාජය…..

මහනුවර ක්‍රීඩා සමාජය පළමු වටයේ ශූරයන් වෙමින් මෙම තරගය සඳහා පිවිසි අතර ඔවුන් පළමු වටයේදී ගුවන් හමුදාව ලකුණු 26 – 08 ක් ලෙසත්, යුදහමුදාව 64-19 ලෙසත්, නාවික හමුදාව ලකුණු 16-14 ලෙසත් පරාජය කිරීමට සමත්විය. පොලිස් කණ්ඩායම 34-13 ලකුණු ලෙස පරාජය කල මහනුවර කණ්ඩායම CH&FC කණ්ඩායම හා CR&FC කණ්ඩායම පරාජය කලේ ලකුණු 31-13 ක් හා 41-27 ක් ලෙසිනි. පළමු වටයේ අවසන් තරගයේදී හැව්ලොක් කණ්ඩායම ලකුණු 22-12 ලෙස පරාජය කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය. ඔවුන් ලකුණු සටහනේ ලකුණු 40 ක් ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 5 ක් දසමඟිනි.

ගුවන් හමුදා කණ්ඩායම සමස්ත ලකුණු සටහනේ අටවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ එක් ජයග්‍රහණයක් සමඟිනි. ඔවුන් පසුගිය සතියේ දී CH&FC කණ්ඩායම ලකුණු 39-22ක් ලෙස පරාජය කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේය. 

ගුවන් හමුදාව ක්‍රීඩා කළ සෙසු තරගවල දී යුද හමුදාව හමුවේ ලකුණු 26-08ක් ලෙස ද, නාවික හමුදාව හමුවේ ලකුණු 24-14ක් ලෙස ද, පොලිස් කණ්ඩායම හමුවේ ලකුණු 15-36ක් ලෙස ද පරාජය විය. ගුවන් හමුදාව ලකුණු 17-35ක් ලෙස පරාජය කිරීමට CR&FC කණ්ඩායම සමත් වූ අතර හැව්ලොක් තරගයෙන් ගුවන් හමුදාව පරාජය වූයේ ලකුණු 16-11ක් ලෙසිනි. 

මහනුවර කණ්ඩායම තම ප්‍රබල ක්‍රීඩකයෙකු වන බුවනෙක උඩංගමුව මෙම තරගය සඳහා විවේක ගන්වා තිබූ අතර අංක 8 ස්ථානය ශෙහාන් පතිරණ හට හිමිව තිබුණි. රොශාන් වීරරත්න ආරම්භක ක්‍රීඩක ලැයිස්තුවේ නොසිටි අතර scrum half ස්ථානය ශ්‍රීනාත් සූරියබණ්ඩාර හට හිමිව තිබුණි. 

මහනුවර කණ්ඩායම තරගයේ ආරම්භයේ දී ම ගුවන් හමුදා කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ අතර ඔවුන් ගුවන් හමුදා අර්ධයේ පන්දුව තබා ගැනීමට සමත් විය. ගුවන් හමුදා කණ්ඩායමට ප්‍රබල අවස්ථාවන් කීපයක් ලැබුණු නමුත් මහනුවර කණ්ඩායම තම ඉදිරිපෙළ සාර්ථකව යොදා ගනිමින් ගුවන් හමුදාව වැළැක්වීමට සමත් විය. 

මහනුවර කණ්ඩායම අවස්ථා කීපයක දී ම ගුවන් හමුදා සීමා ඉර ආක්‍රමණය කළ ද ගුවන් හමුදා ඉදිරිපෙළ හමුවේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට නොහැකි විය. මහනුවර කණ්ඩායම දක්ෂ පන්දු පිරිනැමීම් කීපයක් සමඟින් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එය ලවංග පෙරේරා විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 07ක් දක්වා ඉහල දැමීමට තරින්ද රත්වත්තේ සමත් විය. (මහනුවර 07 – 00 ගුවන් හමුදා)

තරගයේ 16 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට අවස්ථාව උදා වූ අතර ගයන්ත ඉද්දමල්ගොඩ එය සාර්ථක කරගනිමින් ගුවන් හමුදා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (මහනුවර 07 – 03 ගුවන් හමුදා)

මහනුවර අපරාජිතව පළමු වටය නිමා කරයි

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සතියේ තරග පසුගියදා ආරම්භ විය….

මහනුවර කණ්ඩායම තම දෙවන උත්සාහක දිනුම තරගයේ 24 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ අතර දුර්වල ගුවන් හමුදා ආරක්ෂක පෙළ හමුවේ පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කවිඳු පෙරේරා සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද මහනුවර ලකුණු පුවරුව ලකුණු 12ක් දක්වා ඉහල නැංවී තිබුණි. (මහනුවර 12 – 03 ගුවන් හමුදා)

ගුවන් හමුදා කණ්ඩායම මෙම තරගයේ දී කැපී පෙනෙන දියුණුවක් ලබාගෙන තිබූ අතර මහනුවර කණ්ඩායමේ වේගය මනා ලෙස පාලනය කිරීමට ඔවුන් සමත්ව සිටියහ. පෙර තරගවල දී මහනුවර කණ්ඩායම ඉක්මන් උත්සාහක දිනුම් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කළ ද මෙම තරගයේ දී මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයන් මනා ලෙස හඳුනා ගනිමින් ඔවුන් වැළැක්වීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. 

තරගයේ 37 වැනි මිනිත්තුව වන විට ගුවන් හමුදා කණ්ඩායම මහනුවර සීමා ඉර ආක්‍රමණය කිරීමට සමත් විය. නමුත් මහනුවර ඉදිරිපෙළ හමුවේ උත්සාහක දිනුමක් ලබා ගැනීම සඳහා ගුවන් හමුදා කණ්ඩායමට අවස්ථාව උදා වූයේ නැත. 

මහනුවර කණ්ඩායම තම ආරක්ෂක පෙළ මනා ලෙස උපයෝගී කරගනිමින් ගුවන් හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. පළමු අර්ධය නිමා වූයේ මහනුවර කණ්ඩායමට ලකුණු 12-03ක් ලෙස පෙරමුණ හිමිකර දෙමිනි. 

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 12 – 03 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම මහනුවර කණ්ඩායම ප්‍රබල පන්දු පිරිනැමීම් කීපයක් මගින් ගුවන් හමුදා ඉදිරිපෙළ ආක්‍රමණය කල අතර තරගයේ 41 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සුහිරු ඇන්තනී සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු පුවරුව ලකුණු 19ක් දක්වා ඉහල දැමීමට තරින්ද රත්වත්තේ සමත් විය. (මහනුවර 19 – 03 ගුවන් හමුදා)

ඉන් නොනැවතුනු මහනුවර කණ්ඩායම තරගයේ 46 වැනි මිනිත්තුවේ දී තම අර්ධයේ සිට පන්දුව රැගෙන යමින් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ජේසන් දිසානායක සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ මහනුවර කණ්ඩායමට ලකුණු දෙකක් එක් කළේය. (මහනුවර 26 – 03 ගුවන් හමුදා)

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට යොහාන් පෙරේරා සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (මහනුවර 26 – 08 ගුවන් හමුදා)

මහනුවර ක්‍රීඩක මොහොමඩ් ශබීර් හට තරගයේ 52 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේය. 

තරගයේ 54 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගැනීමට අවස්ථාව උදා වූ අතර මීටර් 50 සීමාවේ සිට එල්ල කළ එම පහර සාර්ථක කරගනිමින් මහනුවර ලකුණු පුවරුවට ලකුණු 3ක් එක් කිරීමට තරින්ද ‍රත්වත්තේ සමත් විය. (මහනුවර 29 – 08 ගුවන් හමුදා)

පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ අන්තර් පාසල් රග්බි තරගාවලිය එළඹෙන මාර්තු මස…

මහනුවර කණ්ඩායම තරගයේ 63 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා සීමා ඉර ආක්‍රමණය කළ අතර එය සාර්ථක උත්සාහක දිනුමක් බවට පත්කිරීමට ශබීර් මොහොමඩ් සමත් විය. ප්‍රවර්තනය සාර්ථක කර ගත් මහනුවර කණ්ඩායම තම ලකුණු පුවරුව 36ක් දක්වා ඉහල දමා ගැනීමට සමත් විය. (මහනුවර 36 – 08 ගුවන් හමුදා)

මහනුවර කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට තරගයේ 68 වැනි මිනිත්තුවේ දී පහසු අවස්ථාවක් උදා වූ නමුත් එය සාර්ථක කරගැනීමට ඔවුන් අසමත් විය. තරින්ද රත්වත්තේ ඩ්‍රොප් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළ ද, එය අසාර්ථක විය. 

නමුත් එම අවස්ථාවේ දී සාර්ථකව පන්දුව ලබා ගත් දිලුක්ශ දන්ගේ මහනුවර වෙනුවෙන් හයවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය ද සාර්ථක විය. (මහනුවර 43 – 08 ගුවන් හමුදා)

එම උත්සාහක දිනුම වාර්තා කර මද වේලාවක් යාමටත් පෙර තරගයේ හත්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. බුද්ධිම පියරත්න විසින් ඉදිරියට රැගෙන ගිය පන්දුව සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට සුහිරු ඇන්තනී සමත් වූ අතර එය ඔහුගේ දෙවන උත්සාහක දිනුමයි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තරින්ද ‍රත්වත්තේ මහනුවර කණ්ඩායම ලකුණු 50 සීමාව වෙත රැගෙන ගියේය. (මහනුවර 50 – 08 ගුවන් හමුදා)

තරගයේ 77 වැනි මිනිත්තුවේ දී රොශාන් වීරරත්න හා ශ්‍රීනාත් සූරියබණ්ඩාර තරගයේ 7 වැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර මහනුවර ලකුණු පුවරුව 55ක් දක්වා ඉහල නැංවිනි. එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (මහනුවර 55 – 08 ගුවන් හමුදා)

තරගය නිමා වූයේ මහනුවර කණ්ඩායමට දැවැන්ත ලකුණු 55-08ක ජයග්‍රහණයක් ලබා දෙමිනි. 

තරගය තුල වේගවත් ක්‍රීඩා රටාවක් පෙන්වමින් ප්‍රවර්තන 6ක් හා දඬුවම් පහරක් සාර්ථක කර ගත් තරින්ද රත්වත්තේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. 

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 55 – 08 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් 

  • මහනුවර: ලවංග පෙරේරා (1T), කවිඳු පෙරේරා (1T), සුහිරු ඇන්තනී (2T), ජේසන් දිසානායක (1T), ශබීර් මොහොමඩ් (1T), දිලුක්ශ දන්ගේ (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තරින්ද රත්වත්තේ (6C, 1P)
  • ගුවන් හමුදාව: යොහාන් පෙරේරා (1T), ගයන්ත ඉද්දමල්ගොඩ (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<