මධ්‍යම පළාතේ අයෝමය ශූරයා අජිත්

307

මධ්‍යම පළාත් කායවර්ධන සංගමයේ සහ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත් වීම යටතේ පැවති “මධ්‍යම පළාත් කායවර්ධන ශූරතාවය” ඊයේ (03) සාර්ථකව නිමාව දුටුවේ මහනුවර ඊ. එල්. සේනානායක ළමා පුස්තකාලයේ ප්‍රධාන ශාලාවේ දී ය.

මධ්‍යම පළාතේ කාය ශක්තියෙන් පරිපූර්ණ වූ ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට සහභාගී වූ අතර තරගාවලිය කිලෝග්‍රැම් 55 සිට 90 දක්වා වූ බර පන්ති කිහිපයක් යටතේ පැවැත්විය.

>>මධ්‍යම පළාත් කායවර්ධන ශූරතාවලිය සති අන්තයේ

තරගාවලියේ එකිනෙකට වෙනස් බර පන්ති යටතේ ඉසව් 9ක් සංවිධානය කර තිබුණු අතර ඒ ඒ ඉසව්වන් හි ප්‍රථම ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයින් මධ්‍යම පළාත් කායවර්ධන ශූරතාවය සඳහා තෝරා ගනු ලැබීය.

එහි දී කිලෝග්‍රැම් 55 බර පන්තියෙන් තරග වැදි එස්. ආර්. ඩිලාන් එම බරපන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ජේ. ඒ. නිමේෂ් ප්‍රනාන්දු අනුශූරයා කරමිනි. කිලෝග්‍රැම් 60 බරපන්තියෙන් තරග කළ ඩබ්ලිව්. ජී. සමරසිංහ පරාජය කරමින් එස්. ඊ. ද සිල්වා ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

කිලෝග්‍රැම් 65 බර පන්තිය නියෝජනය කළ එ්. ටී. අජිත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර කේ. ජී. එස්. පී. කරුණාරත්න හට දෙවැනි ස්ථානය හිමි විය.

ඉන්පසුව පැවති කිලෝග්‍රැම් 70, 75, 80, 85 සහ 90 බරපන්තවල ඉසව්වන්ගෙන් ජී. ඩබ්ලිව්. ජී. ඒ. කණිෂ්ක, ජේ. වී. විජේසූරිය, පී. ආර්. මධුසංක, එස්. එම්. එස්. එන්. සේනාරත්න සහ හෂාන් යාපා යන ක්‍රීඩකයින් පිළිවෙළින් ප්‍රථම ස්ථාන දිනා ගත් අතර ඒ. කුමාර, ඕමාන් ෆාරුක්, එම්. ජී. ඒ. එස්. විජේරත්න, කේ .අයි. රුවන් බංඩාර සහ අයි. කරුණාරත්න යන ක්‍රීඩකයින් පිළිවෙළින් එම බරපන්තිවල දෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

අදාළ බරපන්තිවල ප්‍රථමයින් අතරින් මධ්‍යම පළාත් අයෝමය පුරුෂයා ලෙස, කිලෝග්‍රැම් 65 බරපන්තිය යටතේ තරග කළ ඒ. ටී. අජිත් අභිෂේක ලැබූ අතර අනුශූරතාවය දිනා ගත්තේ කිලෝග්‍රැම් 75 බරපන්තිය යටතේ තරග කළ ජේ. වී. විජේසූරිය විසිනි. සමස්ත තෙවැනි ස්ථානය එස්. එම්. එන්. එස්. සේනාරත්න විසින් දිනා ගන්නා ලදි. ඔහු තරග කළේ කිලෝග්‍රැම් 85 බරපන්තිය යටතේයි.  

තරගාවලියෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දක්වමින් අජිත් පවසා සිටියේ ඔහු ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව ඉතාමත් සතුටු වන බවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික සහ පළාත් තරග සඳහා ද සහභාගී වී ශූරතාවය දිනා ගැනීම තම සිහිනය බවයි.

මෙම තරගාවලියේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් සහභාගී  වූ විනිසුරුවන් ද සම්මානයෙන් පිදුම් ලැබීමයි.

තරගාවලියේ සංවිධායකයෙකු තරගාවලියෙන් අනතුරුව අප සමඟින් අදහස් දක්වමින් පවසා සිටියේ “ගියපාරට වඩා වැඩි ක්‍රීඩකයින් පිරිසක් මෙවර තරගාවලියට සහභාගී වුනා, එය සතුටට කරුණක්. ඒවගේමයි මෙවර අපි කිසිදු ගැටලුවකින් තොරව සාර්ථකව තරගාවලිය පැවැත්වීමට ලැබීමත් අපට සතුටට කරුණක්. ඒවගේමයි සඳහන් කළ යුතු දෙයක් තමයි ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය මේකට ලැබුණේ නැහැ. ඒක ගැන කනගාටුයි.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ගියවර පැවති තරගාවලියේ ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන දිනා ගත් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට සහභාගී නොවූ බවයි.

ජයග්‍රාහකයින් සඳහා කුසලාන, පදක්කම්, සහතික පත් සහ මුදල් ත්‍යාග ද පිරිනමන ලදි.  විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ජාතික කායවර්ධන තරගාවලිය සඳහා යොමු කරනු ඇත.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට