ෆාසිල් මරීජාගේ වීරකම් හමුවේ මහනුවර අපරාජිතව ශූරතාවයට

1028
Kandy SC

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (11) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 30-28ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගත් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතව 2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

CR කණ්ඩායම සතු වූ ජයග්‍රහණය CH ක්‍රීඩකයෝ උදුරා ගනිති

2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් තරගය වූ මෙම තරගය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම සිටින විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන ෆාසිල් මරීජාගේ ලීග් රග්බි දිවියේ අවසන් තරගය ද විය.

සිය ක්‍රීඩා දිවිය තුළ මහනුවර ක්‍රීඩා සමාජයට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ද ඔහු සැපයූ සේවය ඉමහත් ය. ඒ අනුව ඔහුගේ අවසන් තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින්ගෙන් නිත්තවෙල ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණි. කෙසේ නමුත් මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙවර තරගාවලියේ ශූරතාවය තහවුරු කරගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියත් ශූරතාවය අපරාජිතව ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය විය. අනෙක් පසින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට ද තරගාවලියේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීම සඳහා මෙම තරගයේ තීරණය වැදගත් විය.

මහනුවර ක්‍රීඩා සමාජය තරගය ආරම්භ වී මිනිත්තු 05ක කාලයක් ගත වන විට තරගයේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී පන්දුව ලබාගත් රිචඩ් ධර්මපාල එය ඉදිරියට රැගෙන යමින් ගයාන් වීරරත්න හට බාර කළ අතර ඔහු සාර්ථකව එය උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරග න්නට නයිජල් රත්වත්තේ සමත් වූයේ නැත. (KSC 05 – 00 HSC)

අනතුරුව කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා සාර්ථක කර ගැනීමට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. විශේෂයෙන් හැව්ලොක් ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තයේ පන්දුව රඳවා ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් සහ මහනුවර ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා එම උත්සාහය සාර්ථක වූයේ නැත.

අනතුරුව තරගයේ 26 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ ‘scrum’ අවස්ථාවක් හිමි කර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූ අතර එහි දී පන්දුව ලබාගත් සිය අවසන් තරගය ක්‍රීඩා කරන ෆාසිල් මරීජා ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසු කරමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේ සිය අවසන් තරගය නැරඹීම සඳහා නිත්තවෙල ක්‍රීඩාංගණයට එක්ව සිටි මුළු මහත් ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව පහසුවෙන් සාර්ථක කර ගන්නට නයිජල් රත්වත්තේ සමත් විය. (KSC 12 – 00 HSC)

අනතුරුව තරගයේ 30 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූ අතර එම අවස්ථාව ලබාගත් නයිජල් රත්වත්තේ පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළින් යොමු කරමින් එම අවස්ථාව සාර්ථක කර ගන්නට සමත් විය. (KSC 15 – 00 HSC)

අනතුරුව තරගයේ පළමු අර්ධය නිමාවන්නට පෙර ප්‍රතිවාදී අන්තයේ දී පන්දුව ලබාගත් ෆාසිල් මරීජා එයට පා පහරක් එල්ල කරමින් ඉදිරියට යොමු කළ අතර අනතුරුව ඔහු විසින්ම දිව ගොස් උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ දී පන්දුව ලබා ගනිමින් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබුවේ ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු සතුව තවමත් ඇති විශිෂ්ටත්වය මැනවින් විදහා දක්වමිනි. රත්වත්තේ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22 – 00 හැව්ලොක් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ මහනුවර ක්‍රීඩා සමාජය දඬුවම් පහර අවස්ථාවක් හිමි කර ගන්නට සමත් වූ අතර එය ලබාගත් නයිජල් රත්වත්තේ පහසුවෙන් එය සාර්ථක කර ගැනීමට සමත් විය. (KSC 25 – 00 HSC)

අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ චාමර දාබරේ විසින් පන්දුව ඉදිරියට රැගෙන යමින් එය සුදම් සූරියආරච්චි වෙත බාර කළ අතර ඔහු පන්දුව පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තරගයේ සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද රීසා මුබාරක් විසින් සාර්ථක කරගන්නා ලදි. (KSC 25 – 07 HSC)

ඒත් සමඟම තරගයට අවතීර්ණ වූ හැව්ලොක් ක්‍රීඩකයින් තරගයේ 58 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කරමිනි. ලිස්ටන් ෆ්ලැට්නි විසින් වාර්තා කර ගත් එම උත්සාහක දිනුම රීසා මුබාරක් විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට සමත් විය. (KSC 25 – 14 HSC)

නාවික බලය හමුවේ ගුවන් බලය යටපත් වේ

අනතුරුව තවදුරටත් හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් උත්සාහක දිනුම් කලාපය ආසන්නයට පන්දුව රැගෙන යමින් මහනුවර ක්‍රීඩා සමාජයට දැඩි තර්ජනයක් එල්ල කරන්නට සමත් වූ අතර ඒ අනුව තරගයේ 66 වන මිනිත්තුවේ දී ඔවුන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් බවට ඉල්ලා සිටියත් විනිසුරුවරයා විසින් එය රූපවාහිනී විනිසුරුවරයා වෙත යොමු කිරීමෙන් පසුව ඔහු තීරණය කළේ එය උත්සාහක දිනුමක් නොවන බවයි. කෙසේ නමුත් එහි දී ඔවුන්ට ‘scrum’ අවස්ථාවක් පිරිනැමුණු අතර අනතුරුව දඬුවම් පහර අවස්ථාවන් ද්විත්වයක් ද දිනා ගන්නට ඔවුන් සමත් විය. ඒ හරහා ඔවුන් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් ආකාරය දිස්වූවත් නැවතත් රූපවාහිනී විනිසුරුවරයා තීරණය කළේ එය උත්සාහක දිනුමක් නොවන බවයි.

ඒ අනුව නැවතත් ඔවුන්ට ‘scrum’ අවස්ථාවක් පිරිනැමුණු අතර එහි දී පන්දුව ලබාගත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ලසිඳු ඉෂාන් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේ තරගයේ උණුසුම ඉහළ නංවමිනි. රීසා මුබාරක් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට ද සමත් විය. (KSC 25 – 21 HSC)

අනතුරුව පන්දුව ලබාගත් නයිජල් රත්වත්තේ එය ඉදිරියට රැගෙන යමින් ෆාසිල් මරීජා වෙත බාර කළ අතර ඔහු එහි දී පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේ මෙම තරගය තුළ ඔහුගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගනිමිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට නයිජල් රත්වත්තේ සමත් වූයේ නැත. (KSC 30 – 21 HSC)

අනතුරුව තරගයේ 75 වන මිනිත්තුවේ දී ෆාසිල් මරීජා වෙනුවට ක්‍රීඩකයෙක් ආදේශ කිරීමත් සමඟ සිය කණ්ඩායම අපරාජිත ලීග් ශූරතාවයක් කරා මෙහෙය වූ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟින් අවසන් වරට ඔහු ක්‍රීඩා පිටියෙන් නික්ම ගියේ රැස්ව සිටි සියලු දෙනාට ඔහුගේ ආචාරය පුදකරමිනි. ඔහු පිටියෙන් නික්ම යන විට ප්‍රතිවාදී හැව්ලොක් ක්‍රීඩකයින් ද ඔහුට සිය ආචාරය පුද කළේ ක්‍රීඩාවේ ජීවගුණය මැනවින් විදහා දක්වමිනි.

පසුව තරගය අවසන් වන්නට පෙර හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් රීසා මුබාරක් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබුවත් ඒත් සමඟම විනිසුරුවරයා තරගය අවසන් කිරීමේ සංඥාව නිකුත් කිරීමත් සමඟ ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 02ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.

යුද හමුදාවෙන් පොලිසියට ආක්‍රමණයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියරේ අවසන් සතිය යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා……

ඒ අනුව ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය 2017/18 ‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය අපරාජිතව තහවුරු කර ගනු ලැබුවේ ෆාසිල් මරීජා හට උපහාරාත්මක සමුදීමක් ලබා දෙමිනි. තරගය අවසන් වීමෙන් අනතුරුව ඔහුව ක්‍රීඩකයින්ගේ කර මතින් රැගෙන යමින් ඔහු රග්බි ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවරට ගෞරව දැක්වීමට ක්‍රීඩකයින් කටයුතු කළ අතර ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ එක්කළ මතකයන් ශ්‍රී ලාංකීය රග්බිලෝලීන්ගේ මතකයේ සදා අමරණීය වනු නොඅනුමානය!

සම්පූර්ණ කාලය: මහනුවර ක්‍රීඩා සමාජය 30 (4T 2C 2P) – 28 (4T 4C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – ෆාසිල් මරීජා (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

  • මහනුවර ක්‍රීඩා සමාජය – ෆාසිල් මරීජා 3T, ගයාන් වීරරත්න 1T, නයිජල් රත්වත්තේ 2C 2P
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – සුදම් සූරියආරච්චි 1T, ලිස්ටන් ෆ්ලැට්නි 1T, ලසිඳු ඉෂාන් 2T, රීසා මුබාරක් 4C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<