සුබ ගමන් “මාර්කෝ” මිත්‍රයා

4095

රග්බි පිටියටම පෙරදා නොවූ හිස්බවක් දැනෙන්නට පටන්ගෙන හමාරය. ලොන්ග්ඩන් පෙදෙසම අඳුරු වී ගොසිනි. හදිසියේ ආ කුණාටුවෙන් CR ඉදිරිපෙළ ඉදිරි වැටී ඇත. අවසානයේ තවත් සුන්දර මිනිසෙකුගේ වෘතාන්තය එසේ නිමා විය.

රග්බි පිටියේ කා අතරත් ජනප්‍රියතම නාමයක් වන “මාර්කෝ” කොළඹ වෙස්ලි විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වෙමින් පාසල් රග්බි පිටියේ වෙස්ලි නාමය උඩු යටිකුරු කළ ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකිය.

පාසල් ලීගයේ වළලුකර ආබාධය සමඟින්

තම වැඩිමහල් සොයුරා වූ ෂේන් සම්මන්දම්පෙරුමගේ ඇවෑමෙන් පාසල් රග්බි පිටියට ගොඩ වදින කෝකිල හිරාන් දක්ෂ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු විය. පාසල් පිටියේ අංක 8 ක්‍රීඩකයාගේ වගකීම් සම්භාරය මැනවින් ඉටු කරමින් 2012 වසරේ දී සුපිරි කාණ්ඩයේ සිහිනය සැබෑ කළ අග්‍රගණ්‍ය නායකත්වයක් ඔහු තුළ තිබුණි.

වැඩිමහල් සොයුරු ෂේන් සමඟ

ඉතා උසස් නායකත්ව ගුණයකින් හෙබි මෙම ක්‍රීඩකයා 2011 වසරේ වයස අවුරුදු 19න් පහළ ජාතික සංචිතයේ තම අසුන වෙන්කර ගත් අතර 2012 වසරේ දී වෙස්ලි විද්‍යාලය A කාණ්ඩය වෙත ඔසවා තබන්නටත් ඔහු සමත් විය.

උතුම් මානුෂවාදී ගති පැවතුම් නිසාම රග්බි පිටියේ ප්‍රතිවාදියා පවා බොහෝ සෙයින් ගරු කළ මේ හැඩිදැඩි තරුණයා අන්තර් සමාජ රග්බි පිටියේ ද දක්ෂතා මැනවින් පෙන්වන්නට සමත් වී තිබීම විශේෂත්වයකි.

CR&FC ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු මෙන්ම වර්තමාන CR&FC කණ්ඩායමේ ….

අප අතරින් වෙන්වන විට ද ප්‍රබල ප්‍රොප් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ “මාර්කෝ” රග්බි පිටියට නම් පියවිය නොහැකි පාඩුවක් වනු නිසැකයි.

අද වන විට අන්තර් සමාජ පිටිය තුල නම් දරා සිටිනා බොහෝ ක්‍රීඩකයින්ගේ සමකාලීනයා වූ “මාර්කෝ” ගැන සියල්ලන්ම පාහේ කනගාටු වනු දකින්නට තිබේ.

CR&FC කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක උදාර ගයාන් තම සගයා ගැන ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය.

“ මගේ අනිත් ප්‍රොප් එක, ඉස්කෝලේ කාලේ ඉඳන්ම එකට හිටපු කෙනෙක්, මගේ කැප්ටන්, හිතා ගන්න බෑ ඇත්තටම මොකක්ද වුනේ කියල, රග්බි පිටියටම ලොකු පාඩුවක්, හැමෝම ආදරේ කරන ක්‍රීඩකයෙක්.”කෝකිලගේ ඡායාරූප එකතුවක්.

රග්බි ක්‍රීඩකයෙකුට කලකින් පිහිටන නිහතමානී හදවතක් තිබුණු “මාර්කෝ” පරිණත ක්‍රීඩකයින්ට මෙන්ම නවක ක්‍රීඩකයින්ට ද එක සේ සෙනෙහසින් සිටි නිහතමානී චරිතයකි. සිනහ මුසු මුහුණින් සියල්ල වසඟ කර ගත් මේ හැඩිදැඩි තරුණයා මුළුමහත් ක්‍රීඩා පිටියම අද කඳුලින් තෙත් කළ හමාරය. අවසාන වශයෙන් කෝකිල නම් වූ ඒ දැවැන්ත චරිතය නික්මුනා නොව ක්‍රීඩාව ඔහුව අහිමි කර ගත්තා පමණි.

මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය බවට අටුවා ටීකා නොතබමින් තවත් ශ්‍රේෂ්ඨයෙකුගේ ජීවිත කතාන්තරය නිමා විය. වීරයා නික්මිණි. යලි උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කරමු. අවසානයේ අපව නිහඬ කළ ඒ නිහතමානී හැඩිදැඩි තරුණයා “මාර්කෝ” ඉතින් අවසරයි සමුගන්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<