මහනුවර කණ්ඩායමෙන් CR කණ්ඩායමට දරුණු සත්කාරයක්

661
Kandy SC vs CR&FC

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සති අන්තයේ තවත් තරගයක දී මහනුවර ක්‍රීඩා සමාජය හා කොළඹ CR & FC කණ්ඩායම අද (13) නිත්තවෙල දී තරග වැදුණු අතර තරගයෙන් ලකුණු 50-15ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි විය.

පොලිසියට නාවික හමුදාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර ..

ගයාන් වීරරත්න විසින් අපරාජිත මහනුවර කණ්ඩායම මෙහෙය වූ අතර කවිඳු පෙරේරා CR & FC කණ්ඩායම මෙහෙයවනු ලැබීය. තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වන මහනුවර ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ විල්වර අද ක්‍රීඩා කළේ නැත.

පළමු මිනිත්තුවේ සිටම මහනුවර ක්‍රීඩා සමාජය CR & FC අර්ධය ආක්‍රමණය කරමින් ලකුණු රැස් කිරීමට උත්සහ කළ ද, රීසා රෆයිඩීන් ප්‍රමුඛ CR & FC කණ්ඩායම කිහිප වතාවක්ම මහනුවර කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දැමීමට සමත් විය.

තරගයේ 13 වන මිනිත්තුවේ දී CR බලමුළු බිඳ දැමූ මහනුවර ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් සීමාව වෙත ළඟා වීමට සමත් වුවත්, පන්දුව ‘Knock-On’ අවස්ථාවකට ලක්වීම නිසා ලකුණු රැස් කිරීමට තිබූ අවස්ථාවක් මහනුවර ක්‍රීඩා සමාජයට අහිමි විය.

නමුත් ක්ෂණිකව නැවත ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩකයෝ CR කණ්ඩායම ‘Scrum’ අවස්ථාවක දී සිදු කළ අතපසුවීමක් සිය වාසියට හරවා ගනිමින් 14 වන මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූහ. තරිඳු චතුරංග එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 07-00 CR & FC).

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඩ් ධර්මපාල 19 වන මිනිත්තුවේ දී CR පසුපෙළ අතරින් රිංගා ගොස් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය නයිජල් රත්වත්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 14-00 CR & FC).

CR & FC කණ්ඩායමට කිසිදු විවේකයක් ලබා නොදුන් මහනුවර කණ්ඩායම තරගයේ 21 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ගයාන් වීරරත්නගේ අලංකාර පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස ග්‍රහණය කරගනිමින් ධනුෂ්ක රන්ජන් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි (මහනුවර 21-00 CR & FC).

25 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් රීසා රෆයිඩීන් CR කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය (මහනුවර 21-03 CR & FC).

අනතුරුව CR & FC ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් කරා යාමට කිහිපවරක් උත්සහ කළ ද පන්දු යොමු කිරීමේ දී සිදු වූ දෝෂ නිසා ඔවුන්ගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. පළමු අර්ධය අවසානයට ආසන්නයේ 39 වන මිනිත්තුවේ දී CR & FC කණ්ඩායම තවත් අසරණ කරමින් ප්‍රබල CR ක්‍රීඩක කවිඳු ද කොස්තා ආබාධයකට ලක්විය.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 21 – 03 CR & FC

දෙවැනි අර්ධයත් ආක්‍රමණශීලි ලෙස ආරම්භ කළ මහනුවර කණ්ඩායම 43 වන මිනිත්තුවේ දී සිය සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. උචිත ජයසූරිය එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය අලංකාර ලෙස  සාර්ථක කරගන්නා ලදි (මහනුවර 28-03 CR & FC).

CR කණ්ඩායමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් මහනුවර ක්‍රීඩකයෝ 52 වන මිනිත්තුවේ දී සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ජේසන් දිසානායක එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර නයිජල් රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට සමත් වූයේ නැත (මහනුවර 33-03 CR & FC).

අගනුවර රග්බි ක්‍රීඩකයෝ ගුවන් භටයන් බිම දමති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දස වැනි සතිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා…..

එම උත්සාහක දිනුමෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩකයෝ 55 වන මිනිත්තුවේ දී CR කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දමමින් සිය සයවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෆාසිල් මරීජාගේ අලංකාර පන්දු යොමු කිරීමක් මගින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර එම උත්සාහක දිනුමට හිමිකම් කීය. නයිජල් රත්වත්තට එහි ප්‍රවර්තනය ද මඟ හැරී ගියේය (මහනුවර 38-03 CR & FC).

මිනිත්තු කිහිපයක් ඇතුළත ක්ෂණික ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ මහනුවර ක්‍රීඩකයෝ CR කණ්ඩායමට නැවත සංවිධානය වීමටවත් ඉඩ නොතබමින් 58 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 45-03 CR & FC).

මිනිත්තු 67කට පසුව CR & FC කණ්ඩායම අත්ව තිබූ උත්සාහක දිනුම් නියඟයට තිත තබමින් රිසා රෆයිඩීන් CR & FC වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනයට ඔහු උත්සහ කළ නමුත් එය සාර්ථක කරගැනීමට ඔහුට නොහැකි විය (මහනුවර 45-08 CR & FC).

නැවත වරක් තරගයට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ 70 වන මිනිත්තුවේ දී අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකින් රිචඩ් ධර්මපාලගේ සුරතින් සිය අටවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නයිජල් රත්වත්ත හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය (මහනුවර 50-08 CR & FC).

‘Center’ ස්ථානයෙන් ‘Number 8’ වලට මාරු වුන බුවනෙක උඩන්ගමුව

මධ්‍යම කඳුකරයේ අගනගරය වන මහනුවරින් රග්බි ක්‍රීඩාවට පිවිසෙන බුවනෙක ‘බුවා’ උඩන්ගමුව වේගයෙන් මෙන්ම ශක්තියෙන්………

අවසාන මිනිත්තු කිහිපයේ දී CR කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ අතර මහනුවර පසුපෙළ හා ඉදිරිපෙළ බිඳ දමමින් චරණ චාමිකර CR වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තරින්ද රත්වත්ත එය සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (මහනුවර 50-15 CR & FC).

තරගය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ තරිඳු චතුරංග ThePapare.com තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 50 (8T, 5C) – 15 (2T, 1P, 1C) CR & FC

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

  • මහනුවර ක්‍රීඩා සමාජය: නයිජල් රත්වත්ත (1T, 5C), රිචඩ් ධර්මපාල (2T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තරිඳු චතුරංග (1T), ධනුෂ්ක රන්ජන් (1T), උචිත ජයසූරිය (1T), ජේසන් දිසානායක (1T)
  • CR & FC ක්‍රීඩා සමාජය: රීසා රෆයිඩීන් (1T, 1P), චරණ චාමිකර (1T), තරින්ද රත්වත්ත (1C)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට