CR&FC පරදා ජය හැව්ලොක් සමාජයට

795
avelock SC v CR&FC

සුපුරුදු එදිරිවාදීන් සේ හැඳින්වෙන CR&FC සහ හැව්ලොක් යන රග්බි කණ්ඩායම් ද්විත්වය, ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ තවත් තරඟයකට අද (19) එක්වූයේ හැව්ලොක් පිටියේදීයි. එහිදී ලකුණු 10-06ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: මහනුවර අභිමානය යළි හිස ඔසවයි

තරඟය ආරම්භ වීමට පැය දෙක තුනකට පෙරාතුව, තද වර්ෂාවක් හැව්ලොක් පිටියට ඇද වැටෙන්නට පටන් ගෙන තිබුණි. ඒ හේතුවෙන්ම කණ්ඩායම් දෙකේ ආරම්භක ක්‍රීඩකයන්ගේ ලැයිස්තු ඊට අනුව වෙනස් කර තිබෙනු දැකගත හැකිවිය. ඉන් කැපීපෙනෙන වෙනස්කම වූයේ CR කණ්ඩායමේ අෂාන් ද කොස්තා ෆ්ලයි හාෆ් ස්ථානයටත්, තරින්ද රත්වත්තේ සෙන්ටර් ස්ථානයටත් ඇතුලත් කර තිබීමයි.

ඒ වෙනස්කමට වටිනාකමක් ගෙන එමින් තරඟයේ මුල් මිනිත්තු කිහිපය තුලදී අෂාන් ද කොස්තා විසින් CR පසුපෙල රේඛාවට නිර්මාණශීලී බවක් එක්කළේය. නමුත් එයින් කිසිවක් ලකුණු බවට පත්කරගන්නට CR කණ්ඩායම අසමත් විය.

කෙසේ වෙතත් තරඟයේ ප්‍රථමවරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ CR ක්‍රීඩක රීසා මුබාරක් හටයි. තරඟයේ මිනිත්තු 20ක් පමණ ගත වන විට ලද දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ඔහු සමත් විය (CR 03-00 හැව්ලොක්).

තරඟයේ 25වන මිනිත්තුවේදී තරඟ නීති උල්ලංඝණයක් සිදුකළ CR අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්නට කහ කාඩ්පතක් හිමිවිය.

පසුව හැව්ලොක් ඉදිරිපෙල ද තරඟයට කෙමෙන් අවතීර්ණ කරමින් හැව්ලොක් ක්‍රීඩකයන් පන්දු පාලනය සියතට ගත් අතර, CR ක්‍රීඩකයන් අතරින් රිංගා ගොස් එක්වරම උත්සාහක දිනුම් රේඛාව පසුකළ හැව්ලොක් ක්‍රීඩක ප්‍රසාද් මධුශංක විසින් කණ්ඩායමට ලකුණු 5ක් එක්කළේය. අලංකාර පැති පා පහරක්සමඟින් ප්‍රවර්තනය සාර්ථක කරගත් දුලාජ් පෙරේරා ඊට තවත් ලකුණු දෙකක් එක්කළේය (හැව්ලොක් 07-03 CR).

ඉන් පසුව පන්දුව පාලනය කිරීමේ දෝෂ දෙපිලෙන්ම ප්‍රදර්ශනය වූ අතර ප්‍රථම අර්ධය නිමාවන තෙක් ලකුණු පුවරුව නොවෙනස්ව පැවතුණි.

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (1T,1C) 07 – 03 (1P) CR&FC

එකවර ග්‍රහණය කරගැනීමට අපහසු මට්ටමකට පන්දුව ලිස්සන සුළු වූ බැවින් දෙවන අර්ධය පුරා දෙපිලෙන්ම පන්දුවට වැඩිපුර එල්ල වූයේ පා පහරවල් ය.

43 වැනි මිනිත්තුවේදී නැවතත් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ බෙල්ල ප්‍රදේශය ග්‍රහණය කළ ඔමල්ක ගුණරත්න විසින් හැව්ලොක් ක්‍රීඩකයන් වෙත දඬුවම් පහරක් ලබා දුන්නේය. ඉන් සාර්ථක ඵල නෙළාගත් දුලාජ් පෙරේරා තම කණ්ඩායමට ලකුණු 3ක් එක්කළේය (හැව්ලොක් 10-03 CR).

තරඟයේ 62වන මිනිත්තුවේදී CR කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් රීසා මුබාරක්, මඩ සහිත පිටිය මධ්‍යයේ වුවද තම පාදයේ හැකියාවන් ප්‍රදර්ශනය කළේය (හැව්ලොක් 10-06 CR).

තරඟයේ අවසාන භාගයේදී CR ධාවකයන් තම දක්ෂතාවන් ප්‍රදර්ශනය කළද ඔවුන්ගේ ඉදිරි පෙලින් ඊට ලැබුනේ මඳ සහයෝගයකි.

CR ක්‍රීඩකයන් කෙතරම් උත්සාහ කළද අවසානයේ ලකුණු පරතරය රැකගත් හැව්ලොක් ක්‍රීඩකයන් තරඟයේ ජය තහවුරු කරගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය (1T,1C,1P) 10 – 06 (2P) CR & FC

ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන්

  • ප්‍රසාද් මධුශංක 1T, දුලාජ් පෙරේරා 1C,1P (හැව්ලොක්)
  • රීසා මුබාරක් (2P) (CR & FC)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට

Watch the Replay! Havelock SC v CR & FC Match #11