ThePapare.com වසරේ විශිෂ්ටතම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩකයා 2020

‘Dialog’ රග්බි ලීගය 2019/20

526

මෙම වසර තුළ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා ඉසව්වලින් 75%ක පමණ ප්‍රමාණයක් COVID-19 වසංගත තත්වය හේතුවෙන් අවලංගු කර දැමීමට සිදුවීමත් සමඟ මෙම 2020 වසර ක්‍රීඩාවට එතරම් සුබදායී එකක් නොවූ අතර එහි දී පළමු මාස දෙක තුළ පවත්වනු ලැබූ එකම තරගාවලිය වූයේ ‘Dialog’ රග්බි ලීගය පමණි.  

ඒ අනුව ‘Dialog’ පාසල් රග්බි ලීගය, ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සහ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය වැනි පැවැත්වීමට නියමිතව තිබු තරගාවලි අත්හැර දැමීමට සිදු වූ අතර බ්‍රැඩ්බි පලිහ ශූරතාව ද එහි වසර 76ක දීර්ඝ ඉතිහාසයේ පළමු වරට මෙම වසරේ දී බොහෝ දුරට පැවැත්වීමට නොහැකිව යනු ඇත.

කෙසේ නමුත් එවන් තත්වයක් යටතේ වුවද 2019/20 ‘Dialog’ රග්බි ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතාවයන් අපට අමතක කළ නොහැක. තරගාවලිය සති 16ක් පුරාවට පැවැත්වීමට නියමිතව තිබුනත් COVID-19 වසංගත තත්වය හේතුවෙන් පසුව එය සති 14ක් දක්වා අඩු කිරීමට සංවිධායකයින්ට සිදුවිය.

එහි දී මහනුවර ක්‍රීඩා සමාජය යළිත් වරක් තරගාවලියේ ශූරතාවය දිනා ගනිමින් අඛණ්ඩව 5 වැනි වරටත් ‘Dialog’ රග්බි කිරුළ තමන් සතුකර ගන්නට සමත් වෙද්දී, අනෙක් පසින් මෙම වසර සඳහා වන ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලිය පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැත.

ඒ අනුව ThePapare.com අප හට 2020 වසර සඳහා වන විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා හට සම්මානයක් පිරිනැමීමේ හැකියාවක් නැතත්, අපට 2019/20 ‘Dialog’ රග්බි ලීග් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා තෝරාගැනීමේ හැකියාවක් ඇත.

ඒ සඳහා වන පහත සඳහන් නාමයන් රග්බි ක්‍රීඩාලෝලීන් සහ ThePapare.com විද්වත් ක්‍රීඩා විස්තර විචාරක මඩුල්ල විසින් යෝජනා වූ ඒවාය.

  • තරින්ද රත්වත්තේ

මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් 2019/20 තරග වාරයේ දී සිය මංගල රග්බි තරග වාරයට ක්‍රීඩා කළ තරින්ද එහිදී කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමේ දී කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් විය. ඒ අනුව ඔහු ‘center’ ස්ථානයේ ක්‍රීඩා කිරීමත් සමඟ කණ්ඩායමේ මුළු ක්‍රීඩා විලාශය ම ගොඩනැඟෙන්නට වූයේ ද 24 හැවිරිදි තරින්ද වටා ය.

මීට පෙර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ඔහු තරගාවලිය පුරාවට සමස්ත ලකුණු 123කට හිමිකම් කියමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ද සිය නාමය ස්ථාපිත කරගන්නට සමත් විය. ඊට උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 42ක් සහ දඬුවම් පහර 8ක් ඇතුළත් විය.

පසුගිය 2019 වසරේ දී ගයාන් වීරරත්න මහනුවර ක්‍රීඩා සමාජයෙන් ඉවත් වීමත් සමඟ ඔවුන්ගේ අංක 12 ජර්සිය එහි නියම අයිතිකරු යළි හමුවන තුරු බලා සිටිද්දී තරින්ද ඔහුගේ ඉහළ දක්‍ෂතා හරහා එය තමන්ගේ ම කරගන්නට සමත් විය.

ඔවුන්ගේ තිලිණ විජේසිංහ තහනම් උත්තේජක භාවිතා කිරීමට අදාළ චෝදනා හමුවේ තරග තහනමකට ලක්වීම ද ඇතුළු තවත් ගැටලු කිහිපයක් හේතුවෙන් පසුගිය තරග වාරය ආරම්භයේ දී මහනුවර ක්‍රීඩා සමාජය තරමක් අර්බුධකාරී තත්වයකට මුහුණ දී සිටින්නට විය. ප්‍රවර්තනයන් සහ දඬුවම් පහරවල් ලබාගැනීමට දක්‍ෂ ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාවය ඒ අතරින් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙද්දී තරින්ද ඉදිරියට පැමිණ කණ්ඩායම නැවතත් ලීග් ශූරතාවය කරා රැගෙන යාම එහිදී කැපී පෙනිණ.

ඒ අනුව පසුගිය තරග වාරය පුරාවට ඔහු පරිපූර්ණ ක්‍රීඩකයෙකු බව මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයට ඉතා හොඳින් ගැළපෙන ක්‍රීඩකයෙකු බව ඔප්පු කර සිටින්නට වූ අතර ඉදිරි වසර වලදී ද ඔවුන්ට ඔහුගේ දක්‍ෂතාවයන් තවදුරටත් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව නොඅනුමාන ය.

  • ශෝකේත් ලහීර්

CR&FC කණ්ඩායම තුළ නොසලකා හැර සිටි ‘loose forward’ ක්‍රීඩක ලහීර් හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ එක්වීමත් සමඟ සිය උපරිම දක්‍ෂතා අතරට ළඟාවන්නට සමත්ව සිටී. ඒ අනුව පසුගිය තරග වාරය පුරාවට ද ඔහු විශිෂ්ට දක්‍ෂතා දක්වන්නට සමත්ව සිටී.

ඊට පෙර 2018/19 තරග වාරයේ දී සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වෙමින් දක්‍ෂතා අතරට එන්නට සමත් වූ ලහීර් ඒ රිද්මය ඒ ආකාරයට ම 2019/20 තරග වාරයට ද රැගෙන ඒමට සමත්ව ඇති බව ඔහුගේ ක්‍රීඩා විලාශයෙන් විදහා දැක්වෙන්නට විය. නවක හා තරුණ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් සංචිතයක් සමඟ පසුගිය තරග වාරයට එක්වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ යොවුන් ඉදිරිපෙළ ක්‍රීඩකයින් හට ලසිඳු ඉෂාන් සමඟ එක්වූ ලහීර් හොඳ නායකත්වයක් ලබාදෙන්නට සමත් වීම එහිදී කැපී පෙනෙන්නට විය.

හැව්ලොක් කණ්ඩායමේ ක්‍රීඩා ශෛලියේ වැඩි බරක් ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් විසින් දැරූ අතර එහිදී ඔවුන් තරගාවලිය අවසන් කරනු ලැබුවේ මහනුවර සහ පොලිස් ක්‍රීඩා සමාජ වලට පසුපසින් 3 වන ස්ථානය හිමිකර ගනිමිනි. කෙසේ නමුත් යොවුන් හා එතරම් සූදානමක් රහිත සංචිතයක් සමඟ ක්‍රීඩා කරමින් තරගාවලියේ 3 වැනි ස්ථානය හිමිකර ගැනීම මෙහි දී ඔවුන් ලබා ගත් ජයග්‍රහණයකි.

සමස්ත තරගාවලිය තුළ ලහීර් විසින් උත්සාහක දිනුම් 11ක් වාර්තා කරගනු ලැබූ අතර ඉන් බහුතරයක් වාර්තා වූයේ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුත් ඔහු තරගාවලිය පුරාවට කණ්ඩායමට ලබා දුන් දායකත්වය එහි දී සැබවින්ම ඇගයීමට ලක්විය යුතුය.

ඒ අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දැක්වූ දක්‍ෂතා හරහා ඔහුට ඉදිරි තරග වාරය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට මේ වනවිට අවස්ථාව හිමිවී ඇත.

  • ඉරෝෂන් සිල්වා

පොලිස් ක්‍රීඩා සමාජය 2019/20 ‘Dialog’ රග්බි ලීග් තරගාවලියේ වාර්තාගත 3 වන ස්ථානයක් කරා ඔසවා තැබීමේ දී ඉරෝෂන් තරගාවලිය පුරාවට දැක්වූ ඊට බෙහෙවින් ඉවහල් වන්නට විය. 2017 තරගාවලියේ දී අවසන් ස්ථානයට පත්වූ පොලිස් ක්‍රීඩා සමාජය කෙමෙන් ඉදිරියට පැමිණෙමින් පසුගිය තරග වාරයේ දෙවන ස්ථානය හිමිකර ගන්නට සමත් වූයේ පසුගිය වසර 20ක කාලය තුළ තරගාවලියේ ඔවුන් ලබාගත් ඉහළ ම ස්ථානයට හිමිකම් කියමිනි.

පොලිස් කණ්ඩායම් පසුපෙළ ශක්තිමත් කරමින් දක්‍ෂ ක්‍රීඩා රටාවක් දියත් කළ ඉරෝෂන් අවස්ථාවන් ගණනාවක දීම ඔවුන්ගේ අවස්ථාවන් තනන්නා ලෙස කටයුතු කරන ලදී. එහිදී තරගාවලිය පුරාවට ඔහුගේ බාල සොහොයුරු සචිත් සහ Fijian Emosi Vunivosa සමඟ එක්වෙමින් ඔහු කණ්ඩායමට අවස්ථාවන් සකසා දීමට විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.

තරගාවලියේ ආරම්භක තරග වලදී ශානක හරිස්චන්ද්‍ර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීමත් සමඟ කණ්ඩායමේ නායකත්ව වගකීම් බාරගත් ඉරෝෂන් සාර්ථක තරග වාරයකට ඔවුන්ව මෙහෙයවන්නට සමත් විය.

සැලකිය යුතු අනෙක් ක්‍රීඩකයින්

ජනිඳු දිල්ෂාන්

පසුගිය තරග වාරයේ දී සිය දෙවන තරග වාරය ක්‍රීඩා කරනු ලැබූ 21 හැවිරිදි යොවුන් ක්‍රීඩක ජනිඳු මේ වනවිටත් සිය දක්‍ෂතා හරහා තම නාමය ස්ථාපිත කරගැනීමට සමත්ව ඇත. ඒ අනුව 2019/20 තරග වාරයේ දී සමස්ත උත්සාහක දිනුම් 13කට හිමිකම් කියූ ඔහු තරගාවලිය අවසන් කරනු ලැබුවේ එහි වැඩිම උත්සාහක දිනුම් ලාභියා ලෙසයි.

දිල්ෂාන්ගේ දායකත්වය තරගාවලිය පුරාවට CR&FC කණ්ඩායමට අතිශය වැදගත් වූ අතර එහිදී අවස්ථාවන් ගණනාවක දී ම ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට ද සමත් විය.

Tomasi Ravouvou

ප්‍රබල ෆීජි ක්‍රීඩක Tomasi ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කරනු ලැබූ සිය පළමු තරග වාරයේ දී ම යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග දිනවන්නෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගන්නට සමත් විය. අඩි 6ක උසකින් යුතු මැදපෙළ ක්‍රීඩා කළ ඔහු තරගාවලිය පුරාවට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරන්නට වූ අතර තවදුරටත් ඔහුගේ ගතික ක්‍රීඩා විලාශය හරහා සෙසු ක්‍රීඩකයින් වෙනුවෙන් අවස්ථාවක් රැසක් ද නිර්මාණය කරන්නට සමත් විය.

තරගාවලිය තුළ ඔහු ක්‍රීඩා කරනු ලැබූ තරග 14 දී ඔහු උත්සාහක දිනුම් 12ක් වාර්තා කරගනු ලැබුවේ තරගාවලියේ දෙවන වැඩිම උත්සාහක දිනුම් ලාභියා බවට ද පත්වෙමිනි.

මෙහි ජයග්‍රාහකයා එළඹෙන දෙසැම්බර් 19 වැනි දින ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<