සියනෑතරු සහ Golden Birds රන් කුසලාන දිනති

364

2019 Dialog ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලිය යටතේ ඊයේ (26) මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති පිරිමි හා කාන්තා අවසන් මහා තරග පිළිවෙළින් ජයග්‍රහණය කළ ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ රදාවාන Golden Birds ක්‍රීඩා සමාජය එම අදාළ තරග අංශවල ශූරතා දිනා ගැනීමට සමත් වූහ. 

පිරිමි තරග අංශය 

ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පිරිමි තරග අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එහි දී කරට කර තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස තරගය ජයග්‍රහණය කළ සියනෑතරු ක්‍රීඩකයින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් සියනෑතරු ක්‍රීඩකයින් එහි දී පළමු තරග වට දෙකේම ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය. ඒ අනුව උණුසුම් තරගයකින් අනතුරුව පළමු වටය ලකුණු 25-23ක් ලෙස ජයග්‍රහණය කළ ඔවුන් පසුව දෙවන තරග වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරනු ලැබීය. 

කෙසේ නමුත් අනතුරුව තරගයට අවතීර්ණ වූ රන්තරු ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් ප්‍රබල සියනෑතරු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඊළඟ තරග වට දෙක ජයග්‍රහණය කළේ තරගයේ තීරණය තීරණාත්මක පස්වැනි වටය කරා රැගෙන යමිනි. ඒ අනුව තෙවැනි හා සිව්වැනි තරග වට වල ලකුණු තත්වය දැක්වුණේ පිළිවෙළින් ලකුණු 21-25ක් හා 19-25ක් ලෙසයි. 

පස්වැනි හා අවසාන තරග වටයේ දී රන්තරු ආක්‍රමණය දක්‍ෂ ලෙස මැඩපැවැත්වීමට සමත් වූ සියනෑතරු ක්‍රීඩකයින් ලකුණු 15-12ක් ලෙස එම තරග වටයේ ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබුවේ ඉතා තියුණු තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය තමන් සතුකර ගනිමිනි. 

විශේෂ සම්මාන 

  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – චාමර මිහිරාන් (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු පිරිනමන්නා – රූකාන්ත පතිරණ (රන්තරු ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු ග්‍රාහකයා – දනුෂ්ක උදයංග (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නා – මොරිස් චමින්ද (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරකයා – සංඛ දිල්ශාන් ජයරත්න (රන්තරු ක්‍රීඩා සමාජය)
  • හොඳම අවහිර කරන්නා – අයේෂ් පෙරේරා (සියනෑතරු ක්‍රීඩා සමාජය)
  • හොඳම ආරක්‍ෂක ක්‍රීඩකයා – මනෝජ් සුරංග (රන්තරු ක්‍රීඩා සමාජය)

කාන්තා තරග අංශය

අවසන් මහා තරගයේ දී මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය තරග වට 3-1ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ කාන්තා තරග අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ රදාවාන Golden Birds ක්‍රීඩා සමාජය යි. 

තරගයේ පළමු තරග වට දෙක ම තරමක් උණුසුම් ස්වභාවයක් ගත්තත් එහි දී ප්‍රතිවාදීන් අභිබවමින් එම වට දෙකේ ම ජයග්‍රහණය හිමිකර ගැනීමට Golden Birds ක්‍රීඩිකාවන් සමත් විය. ඒවායේ ලකුණු තත්වය දැක්වුණේ පිළිවෙළින් ලකුණු 25-19ක් සහ 25-21ක් ලෙසයි. 

තවත් කියවන්න;

කෙසේ නමුත් තරගයේ තෙවැනි වටයේ දී සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ රතනපාල ක්‍රීඩිකාවන් එහි දී ප්‍රතිවාදී Golden Birds හට තියුණු තරගයක් ලබා දෙන්නට සමත් වූ අතර ඒ අනුව එම තරග වටය අවසන් වූයේ රතනපාල ක්‍රීඩිකාවන් එය ලකුණු 28-30ක් ලෙස ජයග්‍රහණය කරමිනි. 

අනතුරුව පැවති සිව්වැනි වටයත් ඉතා උණුසුම් ස්වභාවයක් ගත්තත් අවසානයේ ලකුණු 28-26ක් ලෙස එය ජයග්‍රහණය කළ Golden Birds ක්‍රීඩිකාවන් ඒත් සමඟ ම තරග වට 3-1ක් ලෙස තරගයේ ජයග්‍රහණය ද හිමිකර ගනිමින් තරගාවලියේ කාන්තා තරග අංශයේ ශූරතාවය තහවුරු කරගැනීමට සමත් විය. 

විශේෂ සම්මාන 

  • තරගාවලියේ වටිනා ම ක්‍රීඩිකාව – නිලන්තිකා සංජීවනී (Golden Birds ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු පිරිනමන්නිය – විරාජි චාමරිකා (Golden Birds ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු ග්‍රාහිකාව – ශ්‍යාමා මදුරංගි (Golden Birds ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු සකසන්නිය – රේණුකා පුෂ්පමාලි (Golden Birds ක්‍රීඩා සමාජය)
  • හොඳම ප්‍රහාරිකාව – ඉරේෂා උදයංගනී (Golden Birds ක්‍රීඩා සමාජය)
  • හොඳම අවහිර කරන්නිය – ප්‍රීතිකා ප්‍රොමෝදනී (රතනපාල ක්‍රීඩා සමාජය)
  • හොඳම ආරක්‍ෂක ක්‍රීඩිකාව – මදුෂිකා හර්ෂණී (රතනපාල ක්‍රීඩා සමාජය)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<