2020 ශූරතාවයට බම්බලපිටියේ සාන්තුවරුන්ගේ සූදානම

120

2018, 2019 වසර දිවිත්වයම පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියමින් මයිලෝ ජනාධිපති කුසලානය අඛණ්ඩව දෙවරක් තමන් සතු කර ගත් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය 2020 තරග වාරය සඳහා හොඳ සූදානමකින් පසුවෙනවා. ජනාධිපති කුසලාන ද්විත්වයක් ලීග් කුසලානයකින් හැඩ කරන්නට බම්බලපිටියේ සාන්තුවරුන්ට හැකි වෙයි ද?

50 වැනි අවුරුද්ද කුසලානය එක්ක සමරන්නට එන ලේක්වීව් සිංහයෝ

අවසන් වරට B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පැමිණි වතාවේ මහනුවර ධර්මරාජ විද්‍යාලය A කාණ්ඩයේ…

අතීතයෙන් බිඳක්

”බම්බා බ්‍රිගේඩ්” යන අන්වර්ථ නාමයෙන් රග්බි පිටියේ රජ කළ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ආරම්භ කළ පළමු පාසල් හතරෙන් එකක් වීමට තරම් වාසනාවන්ත වුනා. කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව සිය පළමු රග්බි තරගය ක්‍රීඩා කරමින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට පිවිසීම විශේෂත්වයක්.

සිව්වතාවක් ලීග් ශූරතාව දිනූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය 2002, 2006, 2007 හා 2010 වසරවල දී සිය පාසල් නාමය රන් අකුරින් ඉතිහාසයේ ලියන්නට සමත් වුනා. 2006 වසරේ දී හරේන් ආරියවර්ධනගේ නායකත්වය යටතේ සාන්ත පීතර කණ්ඩායම අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය මෙන්ම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද ජය ගැනීම විශේෂත්වයක් වුනා. 

2008 වසරේ මෙන්ම 2018, 2019 වසරවල ද ඔවුන් සුපිරි පුහුණුකරු සනත් මාටිස් යටතේ පිළිමළුන් පිටුදැකීමේ ශූරයින් බවට පත් වුනා.

සාන්ත පීතර පහස ලබා දේශීය රග්බි පිටියේ අමරණීය චරිත බවට පත් වුණු ක්‍රීඩකයින් බොහෝයි. අර්චිබෝල්ඩ් පෙරේරා, ඩැරල් විමලරත්න හා ෆ්‍රෑන්ක් හර්බට් වැනි අමරණීය චරිත රන්, නිල හා සුදු වර්ණ දැරූ අතර වත්මන් අන්තර් සමාජ රග්බි පිටියේ ධනුෂ්ක රන්ජන්, සුහිරු ඇන්තනී, නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන්, ෂාරෝ ප්‍රනාන්දු, අනුරාධ හේරත් මෙන්ම සඳුන් හේරත් ද සුපිරි දස්කම් දක්වනවා.

පසුගිය තරග වාරය

ලීග් බලාපොරොත්තු අවසන් මොහොතේ දී සුන්කර ගන්නට සිදු වුනත් සුපිරි තරගයකින් පසුව 2019 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ කුසලානය තමන් සතු කරන්නට බම්බලපිටිය සාන්ත පීතරයින් සමත් වුනා. 

බිලාල් හිල්මිගේ නායකත්වයෙන් පිටියට පිවිසුණු සාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම කුසලාන ශුරතාවයේ තරග වදිමින් සහභාගී වූ තරග නවයෙන් තරග අටක්ම ජය ගන්නට සමත් වුනා. ඔවුන්ට සම ලීග් ශූරතාව අහිමි වුනේ එක් ප්‍රසාද ලකුණකින්.

නායක බිලාල් හිල්මි ඇතුළුව ජූලියන් චාල්ස්, රවීන් ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ගෙවුණු තරග වාරයේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා. කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 15-18ක් ලෙස පරාජය කරමින් සාන්ත පීතරයින් තවත් ජනාධිපති කුසලානයක් බම්බලපිටියට රැගෙන ගියා.

තේනුක නානායක්කාර ද ගෙවුණු වසරේ සුපිරි දස්කම් දක්වනන්ට සමත් වුණු අතර ඔහු වැඩිම උත්සාහක දිනුම් ලබා ගත් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයට පත් වුනේ උත්සාහක දිනුම් හතක සමඟින්. ඔහු වැඩිම ලකුණුලාභීන් අතර ද පළමු ස්ථානයට පත් වුනේ ලකුණු 82ක් සිය පාසල වෙනුවෙන් වාර්තා කරමින්.

මෙවර තරග වාරය

මෙවර තරග වාරයට සාන්ත පීතරයින් පිවිසෙන්නේ ප්‍රබල අවි රැසක් සමඟින්. සුපිරි පුහුණුකරු අත්දැකීම් බහුල සනත් මාටිස් මෙවරත් සාන්ත පීතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. 

සනත් මාටිස් මහතා පුහුණුකරුවෙකු ලෙස ලීග් ශූරතා පහක් දිනා ඇති අතර ඉන් ශූරතා තුනක්ම සාන්ත පීතර විද්‍යාලයට දිනා දී තිබීම විශේෂත්වයක්. ඊට අමතරව ඔහු සාන්ත පීතර විද්‍යාලය සමඟ ජනාධිපති කුසලාන පහක් ද දිනා තිබෙනවා. 

මාටිස් යටතේ අවසානයට මුහුණ දුන් තරග 18න් ඔවුන් පරාජය වුනේ තරග තුනක් පමණක් වීම සනත් මාටිස් හා සාන්ත පීතර රග්බි කණ්ඩායම අතර බැඳීම මනාව පෙන්නුම් කරනවා.

බම්බලපිටිය සාන්ත පීතර රග්බි කණ්ඩායම 2020 වසර සඳහා මෙහෙයවන්නේ යොහාන් ප්‍රනාන්දු විසින්. තෙවැනි පෙළ මෙන්ම දෙවැනි පෙළ ද ක්‍රීඩා කිරීමට හැකියාව ඇති යොහාන් මෙවර පළමු පෙළ රග්බි කණ්ඩායමේ සිය සිව්වැනි වසර ක්‍රීඩා කරනවා. 

සාන්ත පීතර ඉදිරිපෙළේ වටිනා කාර්යභාරයක් ඉටු කරන ඔහු සිය ශක්තියෙන් ප්‍රතිවාදීන් මර්දනය කර ඔවුන්ගෙන් පන්දුව උදුරා ගන්නට උපන් හපන්කම් ඇති ක්‍රීඩකයෙක්.

ඉතා උස ප්‍රොප් ක්‍රීඩකයෙකු වන සෙනුර පෙරේරා හා පසුපෙළ ක්‍රීඩක දිල්ශාන් මදුශංක, යොහාන්ට සහය වෙමින් කණ්ඩායමේ උපනායකයින් ලෙස කටයුතු කරනවා. පසුපෙළේ ඕනෑම ස්ථානයක් ක්‍රීඩා කළ හැකි දිල්ශාන් කණ්ඩායමේ පසුපෙළ ප්‍රධානතම තුරුම්පුවක්. 

ආරක්ෂක ක්‍රීඩා විලාසය හොඳින්ම ප්‍රගුණ කර ඇති සෙනුර පන්දුව රැගෙන ප්‍රතිවාදීන් මර්දනය කර ඉදිරියට දිව යන්නට ඉහළ දස්කම් ඇති ක්‍රීඩකයෙක්. පසුගිය තරග වාරයේ දී ද ප්‍රතිවාදීන් මර්දනය කර ඉදිරිපෙළ වෙනුවෙන් ඉමහත් සේවයක් කළ ඔහුගේ සේවය මෙවරත් කණ්ඩායමට ඉතා වැදගත් වනු නොඅනුමානය.

කුළුඳුල් ලීග් කුසලානය නෙලාගන්නට වෙර දරණ මරදානේ සාන්තුවරුන්

පාසල් රග්බි පිටිය කලඹමින් ප්‍රබලයින් රැසක් බිම හෙළු පාසල් රග්බි පිටියේ නවමු රග්බි බලවේගය, මරදාන…

ගෙවුණු වසර කිහිපයේම ශක්තිමත් ඉදිරි පෙළක් තිබුණු සාන්ත විද්‍යාලය මෙවර ශක්තිමත් පසු පෙළකින් ද සමන්විතයි. ගෙවුණු තරග වාරයේ පාසල් රග්බි පිටියේ වැඩිම ලකුණු ලාභියා වුණු තේනුක නානායක්කාර මෙවරත් කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ පසු පෙළ බලකනුව වෙමින්. 

ගෙවුණු තරග වාරයේ ලකුණු 82ක් රැස් කර ගත් ඔහු මෙවර ලකුණු 100 ඉලක්කය හඹා යන්නේ සිය පාදයෙන් ද අලංකාර පා පහරවල් ගෝල කණු අතින් යවමින්. වේගවත් ඉශාන් ප්‍රනාන්දු මත ද කණ්ඩායම බර රඳා පවතින්නේ මෙවර සාන්ත පිතරයින් සිය පසුපෙළට වැඩි බරක් දෙන නිසාවෙන්.

ලකුණකින් ගිලිහුණු ලීග් කුසලානය තමන්ගේ කර ගන්නට බම්බලපිටිය සාන්ත පිතරයින්ට 2020 දී හැකි වෙයි ද?

සාන්ත පීතර විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම මෙසේයි

  • මාර්තු 4, 2020 – සාන්ත පීතර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 14, 2020 – විද්‍යාර්ථ විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – නිත්තවෙල
  • මාර්තු 21, 2020 – විද්‍යා විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණය
  • මාර්තු 29, 2020 – ඉසිපතන විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
  • අප්‍රේල් 4, 2020 – සාන්ත පීතර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<