යොවුන් වියේ දීම ජාතික වරම් ලද සිහින තරුව – බර්ටෝස් කුරෙක්

වොලිබෝල් පුරාවෘත අංක 18

338
Bartosz Kamil

ක්‍රීඩකයෙකුට කඩවසම් බවත්, ක්‍රීඩාවේ නිපුනත්වයත්, ජනප්‍රියතාවයත් එකසේ පිහිටන්නේ ඉතා කලාතුරකින් ය. මේ ත්‍රිත්වයම එකසේ පිහිටා ඇති ඔහු වයස අවුරුදු 19 තරම් යොවුන් වියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගත් ක්‍රීඩකයෙකි. 

එසේම ලෝ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Range Rover සමාගමට සන්නාම තානාපතිවරයෙක් මෙන්ම නිරූපණ ශිල්පියෙක් ලෙස ද තම දායකත්වය ලබා දීමට ඔහු වාසනාවන්ත විය. වොලිබෝල් ලෝක ශූරතාවය හා ලෝක වොලිබෝල් ලීගය යන තරගාවලි දෙකෙහිම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ඇති ඔහු ලොව පුරා යොවුන් තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි.

බර්ටෝස් කුරෙක්

ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ 18 වැනි ලිපිය වෙන් වන්නේ ඔහු වෙනුවෙන් ය.Bartosz Kamil

  • නම – බර්ටෝස් කමිල් කුරෙක් (Bartosz Kamil Kurek)
  • අන්වර්ථ නාමය – Kuraś
  • උපත – 29/08/1988
  • උස – 207 cm (6 ft 9 in)
  • බර – 105 kg (231 lb)
  • ක්‍රීඩා කරන ස්ථානය – Outside hitter / Opposite
  • ජර්සි අංකය – 6
  • ප්‍රහාරක උස – 370 cm (146 in)
  • ආවරණ උස – 340 cm (134 in)
  • නියෝජනය කළ රට – පෝලන්තය
  • වෙනත් කණ්ඩායම් –
    • 2004–2005 Stal Nysa
    • 2005–2008 ZAKSA Kędzierzyn-Koźle
    • 2008–2012 Skra Bełchatów
    • 2012–2013 Dynamo Moscow
    • 2013–2015 Volley Lube
    • 2015–2016 Asseco Resovia
    • 2016 JT Thunders
    • 2016–2017 Skra Bełchatów
    • 2017–2018 Ziraat Bankası Ankara
    • 2018 Stocznia Szczecin
    • 2018–2019 ONICO Warszawa
    • 2019–2020 Vero Volley Monza
    • 2020– Wolf Dogs Nagoya

ඔහුගේ විශේෂත්වය

ජාත්‍යන්තර වොලිබෝල් පිටියට අවතීර්ණ වූ දිනයේ පටන් මේ වන තෙක්ම තමාගේ ක්‍රීඩාවේ රිද්මය උස් පහත් වීම් වලින් තොරව ඒකාකාරී මට්ටමින් රඳවා ගැනීමට සමත් වූ ක්‍රීඩකයන් අතලොස්සෙන් එක් අයෙකු ලෙස කුරෙක් හැඳින්විය හැක. එසේම ඔහු දැඩි පීඩනයක් සහිත අවස්ථාවල දී ඉතා සන්යමයෙන් යුතුව, තමාගේ මානසික ඒකාග්‍රතාවය මැනවින් පවත්වා ගෙන ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙකි. 

විශේෂයෙන්ම ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාවටම ලෝක ශූරතාවය, ලෝක කුසලානය, ලෝක ලීගය වැනි ප්‍රමුඛ පෙළේ තරගාවලි තුළ දී තම දක්ෂතා උපරිම අයුරින් දැක්වූ කුරෙක් එම තරගාවලිවල උච්චතම අවස්ථාවල දී ඔහුගේ තනි විශිෂ්ටත්වය (Individual Brilliance) මඟින් සමස්ත තරගයේ ප්‍රතිඵලය වෙනස් කළ අවස්ථා බොහොමයකි. 

එයට මෑත කාලීන උදාහරණයක් ලෙස 2018 වසරේ ලෝක ශූරතා තරගාවලියේ බ්‍රසීලයට එරෙහි අවසන් මහා තරගය පෙන්වා දිය හැක. එහි දී පළමු තරග වටය ලකුණු 27-26ක් ලෙස පෝලන්තයට වාසි දායක අයුරින් ඉතා තියුණු මුහුණුවරකින් පැවැත්වෙන විට එම වටයේ ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රසීල සුපිරි ක්‍රීඩක වොලස්ගේ (Wallace de Souza) උස පන්දු ප්‍රහාරයක් තමාගේ තනි ආවරණයට හසු කර ගැනීමට කුරෙක් සමත් වීම නිසා එම පළමු තරග වටයේ ජයග්‍රහණය පෝලන්තයට හිමි විය. Bartosz Kamil

ඉන් ලබා ගත් පන්නරය දිගින් දිගටම පවත්වා ගත් පෝලන්තය අවසානයේ තරග වට 3-0ක් ලෙස ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරාජයට පත් කරමින් 2018 වොලිබෝල් ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. එම තරගය අවසානයේ තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට දායක වූ සිදුවීම ලෙසින් විචාරකයන් පෙන්වා දුන්නේ කුරෙක්ගේ එම ආවරණයයි. එහි දී කුරෙක් දැක්වූ දක්ෂතා නිසාම ඔහුට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය ද හිමි වූ අතර එය ඔහු ලෝක මට්ටමේ තරගාවලියක වටිනාම ක්‍රීඩකයා ලෙසින් නම් වූ තුන්වැනි අවස්ථාවයි.

කුරෙක්ගේ ක්‍රීඩා රිද්මය නිරන්තරයෙන් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ රහස වශයෙන් විචාරකයන් පවසන්නේ පන්දුවත්, ඔහුගේ දෑතත් අතර පවතින නිරායාස සම්බන්ධතාවයයි. කුරෙක් ප්‍රහාරකයෙකු ලෙස පන්දු ප්‍රහාර එල්ල කරන අවස්ථාවල පමණක් නොව පන්දුව ආවරණය කරන අවස්ථාවල දී පවා මේ සම්බන්ධතාවය ඉතා හොඳින් දැක ගත හැක. මේ නිසාම පිටත ප්‍රහාරකයෙකු වශයෙන් ක්‍රීඩා කරන ඔහුට ඉතා පහසුවෙන් ආවරණ මඟහැරවීමට අවස්ථාව හිමිවී ඇත. 

මෙය වඩාත් හොඳින් දැක ගත හැකි වන්නේ ඔහු පිටියේ ඉදිරිපස දකුණු කෙළවරේ (පිටියේ අංක 2 ස්ථානයේ) ප්‍රහාරකයෙක් වශයෙන් ක්‍රීඩා කරන අවස්ථාවල දී ය. එහි දී ප්‍රතිවාදී ත්‍රිත්ව ආවරණ මඟහරවමින් ප්‍රතිවාදී පිටියේ පසුපස කලාපයේ අංක 5 ස්ථානයේ සිටින පන්දු ගොඩගැනීමේ ක්‍රීඩකයාගේ වම්පසට, එනම් පිටියේ වම් කෙළවරට පමණක් නොව එම ක්‍රීඩකයාගේ දකුණු පසටත් එක හා සමානවම පහර එල්ල කිරීමේ හැකියාව කුරෙක් සතුය. ජාත්‍යන්තර පිටිය තුළ යොමුවන ආවරණ වල ප්‍රභලතාවය නිසාම මෙම හැකියාව ඇත්තේ ජාත්‍යන්තර ප්‍රහාරකයන් ඉතා සීමිත පිරිසකට පමණි.Bartosz Kamil

පුද්ගලික දිවිය

කුරෙක් උපත ලැබුවේ පෝලන්තයේ Wałbrzych නගරයේ වුවත් ඔහු හැදී වැඩුණේ Nysa නගරයේ දී ය. ඔහුගේ පියා ඇඩම් කුරෙක් ද වොලිබෝල් ක්‍රීඩකයෙකි. 

කුඩා කල පටන්ම සම වයස් යෞවනයන් අතරින් කැපී පෙනෙන උසකට හිමිකම් කියූ කුරෙක් තරුණ වියේ දී පැසිපන්දු ක්‍රීඩා කිරීමට වැඩි ඇල්මක් දැක්වූ නමුත්, පසුව ඔහු වොලිබෝල් ක්‍රීඩාවට යොමු වීමට තීරණය කළේය. ඔහුගේ එම තීරණය ඉතා නිවැරදි තීරණයක් බවට පවත්වූයේ වයස 19 තරම් යොවුන් වියේ දී ම පෝලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි වූ නිසාය.

කුරෙක් හට Jakub නමින් බාල සහෝදරයෙක් ද සිටියි. වරක් කුරෙක් සහ ඔහුගේ සහෝදරයා යෝගට් නිෂ්පාදනයක් වෙනුවෙන් පෝලන්ත රූපවාහිනී දැන්වීමක පෙනී සිටි අතර කුරෙක්ගේ කඩවසම් බව සහ ජනප්‍රියත්වය නිසාම Zott Monte සහ Range Rover යන ඉතා ජනප්‍රිය සන්නාමයන් දෙකෙහිම වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමේ අවස්ථාව ඔහුට හිමි විය. 

කුරෙක් විවාහ ගිවිසගෙන ඇත්තේ ඇනා ග්‍රෙජ්මන් සමඟ ය. ඇය ද පෝලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන වොලිබෝල් ක්‍රීඩිකාවකි.

කුරෙක් ඔහුට විවේකයක් ලැබෙන අවස්ථාවල දී නවකතා පොත් කියවීමට ද උනන්දුවක් දක්වන අතර ලෝ ප්‍රකට නව කතා මාලාවක් වන හැරී පොටර් පොත් පෙළ ඔහුගේ ප්‍රියතම නවකතා අතරින් ඉදිරියෙන්ම තිබෙන බව ඔහු සඳහන් කරයි.Bartosz Kamil

වෘත්තීය දිවිය

කුරෙක් සිය වෘත්තීය වොලිබෝල් දිවිය ආරම්භ කළේ 2004 වසරේ දී පෝලන්තයේ Nysa නගරයේ Stal Nysa නම් කණ්ඩායම හා එක්වෙමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි. එහි දී ඔහු තම පියා සමඟ එකම කණ්ඩායමේ එකට ක්‍රීඩා කිරීමට වාසනාව හිමිකරගත්තේය. එහි වසරක කාලයක් රැඳී සිටීමෙන් පසුව වෙනත් ක්‍රීඩා සමාජයක් වෙත මාරුවීමට කුරෙක් තීරණය කරන ලදි. 

අනතුරුව ඔහු ZAKSA Kędzierzyn-Koźle  ක්‍රීඩා සමාජය හා එක්ව 2005 වසරේ සිට 2008 වසර දක්වා ක්‍රීඩා කරන ලදි. ඉන් අනතුරුව 2007 වසරේ දී පෝලන්තයේ ජාතික වොලිබෝල් සංචිතයට ඇතුළත් වීමට වරම් හිමිකරගත් කුරෙක් ඔහුගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් 2008 වසරේ දී  Skra Bełchatów ක්‍රීඩා සමාජය හා එක් වන්නට තීරණය කරන ලදි.

2009 යුරෝපීය ශූරතාවලියේ දී පෝලන්ත ජාතික කණ්ඩායම රන් පදක්කම දිනා ගන්නා විට කුරෙක් ජයග්‍රාහී පෝලන්ත සංචිතයට ඇතුළත් වී සිටි අතර මේ නිසා 2009 සැප්තැම්බර් 14 වැනි දින Knight’s Cross of Polonia Restituta සම්මානයෙන් පිදුම් ලැබීමට ඔහු සමත් විය. 

2011 ජූලි 10 වැනි දින කුරෙක් සිය ජාතික කණ්ඩායම සමඟ ලෝක ලීග තරගාවලියේ පළමු පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි දී ලෝකඩ පදක්කම වෙනුවෙන් ආජන්ටිනා කණ්ඩායම සමඟ තරග වැදුණ ඔවුන් එම තරගයෙන් ආජන්ටිනාව පරාජය කිරීමෙන් පසුව තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූහ. මෙම තරගාවලිය පුරාවටම කැපී පෙනෙන ක්‍රීඩා රටාවක නිරත වූ කුරෙක් අවසානයේ තරගාවලියේ හොඳම ලකුණු ලාභියාට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් විය. මෙම සම්මානයත් සමඟින් ලෝක වොලිබෝල් ප්‍රේක්ෂකාගාරයේ අවධානය තමා වෙත දිනා ගැනීමට කුරෙක් හට අවස්ථාව ලැබුණි.Bartosz Kamil

2011 වසරේ යුරෝපීය ශූරතා තරගාවලියේ දී රුසියාවට එරෙහිව ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට පෝලන්තය සමත් වූ අතර එහි දී පෝලන්ත කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා වූයේ කුරෙක් ය. මෙම තරගාවලියේ දී කුරෙක් දැක්වූ දක්ෂතා වෙනුවෙන් තරගාවලිය අවසානයේ තරගාවලියේ හොඳම පන්දු පිරිනමන්නාට හිමි සම්මානය ඔහුට හිමි විය.

පසුව 2012 ජූලි 8 වැනි දින පෝලන්ත කණ්ඩායම 2012 වසරේ ලෝක ලීග තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි දී කුරෙක් හට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි විය. කෙසේ නමුත් 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී රුසියාව ඉදිරියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වීමට සිදුවීම නිසා පෝලන්තයට ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ආබාධයක් හේතුවෙන් 2014 වසරේ දී ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ කුරෙක් වසරක විවේකයකින් පසුව 2015 මැයි 28 වැනි දින රුසියාවට එරෙහිව ලෝක ලීගයේ අන්තර් මහද්වීප වටයේ පළමු තරගයේ දී නැවත පෝලන්ත ජාතික කණ්ඩායමට පැමිණියේය. පසුව 2016 වසරේ දී කුරෙක් පෝලන්තය නියෝජනය  කරමින් රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ නමුත් එහි දී ද ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත.Bartosz Kamil

නමුත් 2018 සැප්තැම්බර් 30 වැනි දින පැවති ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ප්‍රබල බ්‍රසීල කණ්ඩායම පරාජයට පත් කළ පෝලන්තය 2018 වසරේ වොලිබෝල් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එම තරගාවලිය පුරාවටම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ කුරෙක් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

කුරෙක් වර්තමානයේ පෝලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන අතරතුර ජපාන ක්‍රීඩා සමාජ කණ්ඩායමක් වන Wolf Dogs Nagoya වෙනුවෙන් ද තම දායකත්වය සපයමින් ක්‍රීඩාවේ නිරත වෙයි.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණක්‍රීඩා සමාජ තරග

CEV චැම්පියන්ස් ලීගය

  • 2009/2010 – ලෝකඩ පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2011/2012 – රිදී පදක්කම (Skra Bełchatow කණ්ඩායම සමඟ)

CEV කුසලානය

  • 2017/2018 – රිදී පදක්කම (Ziraat Bankası Ankara කණ්ඩායම සමඟ)

FIVB ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය

  • 2009 – රිදී පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2010 – රිදී පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)

ක්‍රීඩා සමාජ ජාතික ශූරතා

  • 2008/2009 පෝලන්ත කුසලානය රන් පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2008/2009 පෝලන්ත ශූරතාවය – රන් පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2009/2010 පෝලන්ත ශූරතාවය – රන් පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2010/2011 පෝලන්ත කුසලානය – රන් පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2010/2011 පෝලන්ත ශූරතාවය – රන් පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2011/2012 පෝලන්ත කුසලානය – රන් පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2011/2012 පෝලන්ත ශූරතාවය – රිදී පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)
  • 2013/2014 ඉතාලි ශූරතාවලිය – රන් පදක්කම (Volley Lube කණ්ඩායම සමඟ)
  • 2014/2015 ඉතාලි සුපර් කප් – රන් පදක්කම (Volley Lube කණ්ඩායම සමඟ)
  • 2014/2015 ඉතාලි ශූරතාවලිය – ලෝකඩ පදක්කම (Volley Lube කණ්ඩායම සමඟ)
  • 2015/2016 පෝලන්ත ශූරතාවය – රිදී පදක්කම (Asseco Resovia කණ්ඩායම සමඟ)
  • 2016/2017 පෝලන්ත ශූරතාවය – රිදී පදක්කම (Skra Belchatow කණ්ඩායම සමඟ)

කණ්ඩායම් ජයග්‍රහණ – පෝලන්ත ජාතික කණ්ඩායම සමඟ

  • 2005 CEV 19 න් පහළ යුරෝපීය ශූරතාවයරන් පදක්කම
  • 2009 CEV යුරෝපීය ශූරතාවය – රන් පදක්කම
  • 2011 CEV යුරෝපීය ශූරතාවය – ලෝකඩ පදක්කම
  • 2011 FIVB ලෝක කුසලානය – රිදී කුසලානය
  • 2012 FIVB ලෝක ලීගය – රන් පදක්කම
  • 2015 FIVB ලෝක කුසලානය – ලෝකඩ පදක්කම
  • 2018 FIVB කේන්ද්‍රීය ලෝක ශූරතාවය – රන් පදක්කම

තනි ජයග්‍රහණ

  • 2005 CEV U19 යුරෝපීය ශූරතාවය – හොඳම ප්‍රහාරකයා
  • 2006 සුපර් වොලී විසින් තෝරාගනු ලැබූ වසරේ ප්‍රතිභාපූර්ණ ක්‍රීඩකයා
  • 2009 හියුබට් ජර්සි වැග්නර්ගේ අනුස්මරණය – වටිනාම ක්‍රීඩකයා
  • 2009 FIVB ක්ලබ් ලෝක ශූරතාවය – හොඳම ලකුණු ලාභියා
  • 2010 වසරේ නව ක්‍රීඩකයා – Gala Siatkarskie Plusy
  • 2011 පෝලන්ත කුසලානය – හොඳම ප්‍රහාරකයා
  • 2011 FIVB ලෝක ලීගය – හොඳම ලකුණු ලාභියා
  • 2011 CEV යුරෝපීය ශූරතාවය – හොඳම සේවාදායකයා
  • 2011 වසරේ පෝලන්ත ක්‍රීඩා පෞරුෂත්වය – දෙවන ස්ථානය
  • 2012 CEV චැම්පියන්ස් ලීගය – හොඳම ප්‍රහාරකයා
  • 2012 FIVB ලෝක ලීගය – වටිනාම ක්‍රීඩකයා
  • 2012 හියුබට් ජර්සි වැග්නර්ගේ අනුස්මරණය – වටිනාම ක්‍රීඩකයා
  • 2012 වසරේ පෝලන්ත ක්‍රීඩා පෞරුෂත්වය – 6 වන ස්ථානය
  • 2016 හියුබට් ජර්සි වැග්නර්ගේ අනුස්මරණය – හොඳම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2018 FIVB ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2018 FIVB ලෝක ශූරතාවය – වටිනාම ක්‍රීඩකයා
  • 2018 යුරෝපීය කොන්ෆෙඩරේෂන් ගාලා – වසරේ පිරිමි ක්‍රීඩකයා
  • 2018 වසරේ පෝලන්ත ක්‍රීඩා පෞරුෂත්වය – පළමු ස්ථානය

පෝලන්ත රාජ්‍ය සම්මාන

  • 2009 – Ribbon Knight’s Cross of Polonia Restituta
  • 2018 – Ribbon Officer’s Cross of Polonia Restituta

Image Credits:  pinimg.com, volleywood.net

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<