ශ්‍රී ලංකාව ආසියාවේ 6 වැනි ස්ථානයට

Dialog ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය 2021

530

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරගාවලියේ පලඟ අවසන් සටනින් පරාජය වී 6 වැනි දිනා ගනිමින් තරගාවලිය නිමා කරන්නට සමත් වුනා.

ඊයේ (19) පැවති තරගවල දී ශ්‍රී ලංකා කාන්තාවන් මැලේසියාව හමුවේ ජයග්‍රහණය වාර්තා කරමින් චීනය සහ හොංකොං හමුවේ පරාජය වෙමින් අද පලඟ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර පිරිමි කණ්ඩායම ඊයේ සහභාගී වූ තරග 3ම පරාජය වෙමින් අද පලඟ අවසන් පූර්ව වටය සඳහා සහභාගී වුනා.

දිනය ආරම්භ කරමින් පිලිපීනය සමඟින් තරග කළ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් තියුණු සටනකට පසුව 28-26ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමින් පලඟ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පලඟ අවසන් සටනේ දී සත්කාරක එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් හමුවේ 29-10ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු වුනේ තරගාවලියේ 6 වැනි ස්ථානය සඳහා උරුමකම් කියමිනුයි.

කුසලාන අවසන් තරගයේ දී 27-26ක් ලෙස දකුණු කොරියාව පරාජය කළ හොංකොං ක්‍රීඩකයින් විසින් ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම දිනය ආරම්භ කරමින් පිලිපීන ක්‍රීඩිකාවන් සමඟින් තරග වැදුණු අතර එහි දී 15-19ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ඒ සමඟ පලඟ අවසන් වටය සඳහා වරම් දිනා ගත් ඔවුන් එහි දී තායිලන්තය සමඟින් තරග කළ අතර ශ්‍රී ලංකාවට අමිහිරි අවසානයක් උරුම කරමින් 45-00ක් ලෙස පලඟ ශූරතාවය ජයග්‍රහණය කරන්න‌ට තායිලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා.

එම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද 6 වැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කළ අතර කුසලාන අවසන් තරගයෙන් 14-12ක් ලෙස චීනය පරාජය කළ ජපන් ක්‍රීඩිකාවන් ශූරතාවය සිය රටට ගෙන යන්නට සමත් වුනා.

ආදි ඉසිපතන විද්‍යාලයීය රග්බි ක්‍රීඩක සහ වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි සංචිතයේ flanker ක්‍රීඩකයෙකු වන 23 හැවිරිදි අදීෂ වීරතුංග විසින් ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික සංචිතය සඳහා නායකත්වය ලබා දුන් අතර කාන්තා කණ්ඩායම මෙහෙය වූයේ දුලානි පල්ලෙකොන්දගේ විසිනුයි.

අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙවර තරගාවලිය සඳහා සහභාගී නොවුන අතර ඊට හේතුව වුනේ මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා සලකා බැලූ Worrier 7s රග්බි තරගාවලිය සඳහා ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට සහභාගී වීමට අවස්ථාවක් නොලැබී යාම නිසාවෙනි.

මීට පෙර ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායම අවසන් වරට තරගාවලියක් සඳහා සහභාගී වූයේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති ඔලිම්පික් සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහායි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<