ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය නිවේදනය කරයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය

237

අශෝක ජයසේන මහතාගෙන් මූලිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික රග්බි තේරීම් කමිටුව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය තෝරාගෙන තිබෙනවා.

මෙලෙස මූලික රග්බි සංචිතයක් තෝරාගෙන තිබෙන්නේ නොවැම්බර් 19 හා 20 එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වීමට නියමිත ආසියානු සති සාමාජික රග්බි තරගාවලිය ඉලක්ක කරගෙනයි.

පොලිස් ක්‍රීඩාංගණයේ දී අද (31) නිමා වුන 2021 Warrior කුසලාන රග්බි තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම සංචිතය තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙත නියෝගයක් නිකුත් කර තිබුණේ Warrior කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම්වල ක්‍රීඩකයින් පමණක් ශ්‍රී ලංකා සංචිතය සඳහා තෝරා ගන්නා ලෙසයි.

ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජය, CR&FC ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා සංචිතයට එක්වීමේ අවස්ථාව අහිමි වනවා. ඒ එම ක්‍රීඩා සමාජ දෙක Warrior කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවුණු නිසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව Warrior කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ පොලිස් කණ්ඩායම පරාජය කරමිනුයි. CH&FC පලඟ කුසලානය දිනා ගනිද්දී, යුද හමුදා හා හැව්ලොක් කණ්ඩායම් පිළිවෙළින් බඳුන හා පලිහ කුසලාන දිනා ගත්තා.

තරගාවලියේ ගුණාත්මකභාවය පිළිබඳව හා ක්‍රීඩකයින්ගේ සූදානම පිළිබඳව ජාතික පුහුණුකරු නිලුෆර් ඊබ්‍රහිම් මහතා පවසා සිටියේ, ක්‍රීඩකයින් මාස 20ක් පමණ එකදිගට ක්‍රීඩා නොකළ නිසා ඔවුන්ගේ උපරිම ජවය හැකියාව දැක ගන්නට නොලැබුණු නමුත්, අභියෝග මධ්‍යයේ වුනත් ක්‍රීඩකයින්ගේ කැපවීම ගැන සතුටු විය හැකි බවයි.

මම හිතනවා තේරීම් කමිටුව තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට සාධාරණයක් කරලා තිබෙනවා”, මූලික සංචිතය ගැන අදහස් දක්වමින් ඊබ්‍රහිම් මහතා පවසා සිටියා. “තෝරාගත් ක්‍රීඩකයින් ඔක්කොමලා හොඳින් දස්කම් දක්වලා තියෙනවා වගේම ඔවුන් ඒ ස්ථානය උපයාගෙන තිබෙනවා.”

ක්‍රීඩකයින්ව හොඳ තත්වයට යළිත් ගේන්න අපිට ඉදිරි සතියේ දී වැඩ ටිකක් කරන්න තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සමාජ 5කින් පමණ ක්‍රීඩකයින් ඉන්න නිසා ක්‍රීඩක සංයුතිය හරියට හදාගන්නත් ඕනේ. මීට කලින් සංචිතවල ක්‍රීඩා සමාජ කිහිපයකින් තමයි ගොඩක් ක්‍රීඩකයින් හිටියේ, ඒ නිසා ක්‍රීඩකයින් එකිනෙකා හොඳින් හඳුනාගෙන සිටියා.”

එළඹෙන අඟහරුවාදා සිට ක්‍රීඩකයින් සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා හෝටල් පරිශ්‍රයේ ජෛව ආරක්ෂක බුබුළකට ඇතුළත් වීමට නියමිතයි. අවසන් සංචිතය සඳහා ක්‍රීඩකයින් 15ක් හෝ 12ක් එක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ආසියානු සත් සාමාජික තරගාවලියට තෝරා ගත් ශ්‍රී ලංකා මූලික සංචිතය

  • නුවන් පෙරේරා, ඉෂාර මධුශාන්, රමිත් ද සිල්වා, අංජුල හෙට්ටිආරච්චි (ගුවන් හමුදා)
  • සචිත් සිල්වා, ඉරෝෂාන් සිල්වා, වගීෂ වීරසිංහ, සුරංග කසුන් (පොලිස්)
  • සුදාරක දික්කුඹුර, නාලක මධුරංග, ලසන්ත කුමාර (යුද හමුදා)
  • අදීශ වීරතුංග, කාංචන රාමනායක, චතුර සෙනෙවිරත්න, නිශෝන් පෙරේරා (නාවික හමුදා)
  • Samual Ogbebor, හිරන්ත පෙරේරා, කුෂන් ඉඳුනිල්, රීසා රෆයිඩීන්, ජනිඳු දිල්ශාන් (CH&FC)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<