වර්ෂාව නිසා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට!

Asian Games 2023

3601

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 14 වැනි දිනය වන අද (07) ඉන්දියාව විසින් පිරිමි ක්‍රිකට් ඉසව්ව සඳහා වූ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවතට විසි වූ අතර, ඇෆ්ගනිස්තානය විසින් ඊයේ (06) දිනයේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු හතරක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම ඊයේ බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම ද අද පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

ඒ අනුව මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට බංග්ලාදේශයට සහ පාකිස්තානයට අද දිනයේ සිදු වූ නමුත් විටින් විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 5ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර, වර්ෂාව නිසා Duckworth-Lewis න්‍යාය අනුව ඇෆ්ගනිස්තානයට පන්දුවාර පහක දී ලකුණු 65ක ඉලක්කයක් හිමි වුනා.

මෙම ඉලක්කය ඉනිමේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් බංග්ලාදේශය වෙත සපුරා දීමට Rakibul Hasan සමත් වූ අතර, ඒ අනුව බංග්ලාදේශය ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා. 

එමෙන්ම එම තරගයෙන් පසුව ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් සටන් වැදීමට පිටියට පිවිසුණු නමුත් එම තරගය සම්පූර්ණයෙන්ම පැවැත්වීමට වර්ෂාව ඉඩ ලබා දුන්නේ නැහැ.  

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවාර 18 පන්දු 2ක දී කඩුලු 5ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා.

දිගින් දිගටම ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළීම නිසා තරගය තීරණයක් රහිතව අත් හැර දැමීමට තරග විනිසුරුවරුන් එතීරණය කළ නමුත් ඉහළ ශ්‍රේණිගත කිරීම් හි රැඳීම නිසා ඉන්දීය කණ්ඩායමට ඉසව්වේ රන් පදක්කම හිමි වුනා. 

ශ්‍රී ලංකාවේ සහභාගීත්වය  

මේ අතර අද දහවලේ 67Kg පිරිමි කරාටේ ඉසව්වේ අවසන් ක්‍රීඩකයින් 16 දෙනා අතර තරගයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දෙනෙත අවිහිංස මැලේසියා ක්‍රීඩකයෙකු හමුවේ 2-0ක් ලෙස පරාජයට පත් වුනා. 

හෙට (08) ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අතර බොහෝ ක්‍රීඩා ඉසව් මේ වන විටත් නිමා වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව පදක්කම් පහක් සමඟින් පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයේ රැඳී සිටින අතර බොහෝ දුරට හෙට ක්‍රීඩා උළෙල නිමා වන විටත් ශ්‍රී ලංකාවට මීට ආසන්න ස්ථානයක රැඳීමට හැකියාව ලැබෙනු ඇති. 

2023 ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<