හිටපු මලල ක්‍රීඩා ප්‍රධානියාට එරෙහිව නඩු

99

රුසියානු තහනම් උත්තේජන පරීක්ෂණ පිළිබඳව වසන් කිරීමට අල්ලස් ලබා ගත් බවට චෝදනා ලබා සිටි හිටපු ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී ලෙමින් ඩයැක්ට එරෙහි නඩු විභාගය ඉකුත් දා (08) ප්‍රංශයේ පැරිස් නුවර අධිකරණයේ දී ආරම්භ විය.

ලෝක ශූරියට වසර දෙකක තහනමක් පනවයි

මේ වන විට 87 වැනි වියෙහි පසුවන ඔහු 1999 වසරේ සිට 2015 වසර තෙක් වසර 16ක කාලයක් ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරූ අතර 2015 වසරේ නොවැම්බර් 01 වැනිදා ඔහු ඇතුළු තවත් සාමාජිකයන් කිහිප දෙනෙක් රුසියානු තහනම් උත්තේජන තොරතුරු වසන් කිරීම සඳහා අල්ලස් ලබා ගැනීම මත ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්විය.

අල්ලස් දීම හෝ ලබා ගැනීම, විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධීකරණය යන චෝදනා යටතේ 2015 වසරේ සිටම ඔහුව නිවාස අඩස්සියට පත්කර තිබූ අතර රුසියානු ක්‍රීඩකයන්ට 2012 වසරේ ඔලිම්පික් උළෙල සහ 2013 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට ඉඩ සලසා දීමේ අරමුණින් මෙම තහනම් උත්තේජක තොරතුරු වසන් කිරීමට දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන තුනකට අධික මුදලක් ලබා ගත් බව ඔහුට විරුද්ධව එල්ල වන ප්‍රධානතම චෝදනාවයි.

මීට අමතරව 2012 වසරේ සෙනගාලයේ පැවති ජනාධිපතිවරණයේ දී මැකී සෝල්ගේ ඡන්ද ව්‍යාපාරයට සහය වීම සඳහා ලෙමින් විසින් රුසියානුවන් විසින් සිදු කළ තහනම් උත්තේජක වංචා වසන් කිරීමේ හෝ ප්‍රමාද කිරීමේ පොරොන්දුව මත ඔවුන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් ලබා ගත් බවට ද පැමිණිලි පාර්ශවය මගින් චෝදනා ගොනු කර තිබේ.

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

ඒ අනුව 2015 වසරේ සිට වසර 4ක කාලයක් තිස්සේ ප්‍රංශයේ දී පැවති විමර්ශනවලින් අනතුරුව නඩු විභාගය මෙම වසරේ ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතව තිබුනත්, නව සාක්ෂි පිළිබඳව පරික්ෂා කිරීමේ ප්‍රමාදය මත එය ජුනි මාසය දක්වා කල් දමන ලදි.

ඔහුට අමතරව මලල ක්‍රීඩා සංගමයෙ නිලධාරීන් සහ රුසියානු මලල ක්‍රීඩා බලධාරීන් අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් ඩොලර් ලක්ෂයකට අධික මුදලක් ලබා ගත් බවට සැක කරන ලෙමින්ගේ හිටපු නීති උපදේශක හබීබ් සිසේ සහ ඇමරිකන් ඩොලර් 190,000 මුදලක අල්ලසක් ලබා ගත් බවට චෝදනා ලැබූ “IAAF anti-doping” හී හිටපු ප්‍රධානී ගේබ්‍රියල් ඩොල් ද නඩු විභාගය සඳහා පෙනී සිටියේය.

කෙසේ නමුත් මෙම චෝදනා ලෙමින් විසින් ප්‍රතික්ෂේප කරන අතර යම්හෙයිකින් ඔහු මෙයට වැරදිකරු වුවහොත් වසර 10ක් දක්වා සිරදඬුවමකට අමතරව විශාල දඩ මුදලකට ද යටත් වීමට සිදු වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<