දෙවැනි අර්ධයේ ප්‍රහාරයෙන් ජයග්‍රහණය කොළඹට

874

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන සතියේ තරගයක් ලෙස පැවති නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අතර තරගය අද (13) සවස කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී දියත් කළ විශිෂ්ට ක්‍රීඩා විලාශය හරහා ගෝල 0-4ක ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.  

කොළඹ ක්‍රීඩා සමාජයේ AFC කුසලාන කාල සටහන නිකුත් වේ

2019 AFC කුසලානයේ පළමු තේරීම් වටයේ පළමු තරගය සඳහා කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය…

පසුගිය තරගය වන විට නේවි සී හෝක්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 30ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේත්, කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම ප්‍රසාද ලකුණු 29ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේත් රැඳෙමින් ශූරතා සටනේ පෙරමුණ ගෙන සිටින්නට සමත් වූ නමුත් කණ්ඩායම් දෙකම පසුගිය සතියේ තරග පරාජයට පත්වීමත් සමඟ ශූරතා සටනෙන් ඔවුන්ට ඉවත්ව යන්නට සිදු විය.

තරගය ආරම්භයේ දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් එහි දී ඔවුන් ගෝල වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට අපොහොසත් වීම නිසා තරගය තරමක උදාසීන ස්වරූපයක් ගන්නට විය.

කෙසේ නමුත් නේවි සී හෝක්ස් කණ්ඩායමට තරගයේ 08 වන මිනිත්තුවේ දී ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් සුභාෂ් මධුශාන් වේගයෙන් ගෝල රාමුව දෙසට යොමු කළ පන්දුව ඉතා විශිෂ්ට ලෙස ඉන් ඉවතට යොමුකරන්නට කොළඹ පාපන්දු සමාජ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් සමත් විය.

ඉන් අනතුරුව තරගයේ පළමු අර්ධයේ මැද භාගයට පමණ වන්නට නේවි සී හෝක්ස් කණ්ඩායමට ගෝලයක් වාර්තා කරගන්නට පහසු අවස්ථාවන් දෙකක් හිමිවුවත් එහි දී එම අවස්ථාවන් දෙකම සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අයිස් හොකී පසෙකලා පාපන්දුවට පෙම් බැඳී සුපිරි ගෝල රකින්නා

Libuse Cechova විසින් ජීවය ලබා දුන් Petr Cech තුන් නිවුන් දරුවන්ගෙන් එක් අයෙක්. 1982 මැයි මස…

එතැන් පටන් පළමු අර්ධයේ අවසානය දක්වාම තරගය දැඩි උදාසීන ස්වරූපයක් ගන්නට විය. එහි දී කණ්ඩායම් දෙකේම ආරක්‍ෂක ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුව ගෝල රාමුව ආසන්නයට රැගෙන යමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුව ද ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත.

නේවි සී හෝක්ස් ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධයේ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින්ට සාපේක්ෂව ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරනු ලැබුවත් පළමු අර්ධය අවසන් වූයේ කිසිදු ගෝලයක් වාර්තා නොවෙමිනි.

පළමු අර්ධය: නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජය 00 – 00 කොළඹ පාපන්දු සමාජය

පළමු අර්ධයට සාපේක්ෂව දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් තරගයට අවතීර්ණ වීමත් සමඟයි. එහි දී විශේෂයෙන් කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට වූ අතර ඒ හරහා ඔවුන් ප්‍රතිවාදී නේවි සී හෝක්ස් ආරක්‍ෂක ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ 64 වන මිනිත්තුවේ දී කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩක මොහොමඩ් ෆාසාල් හට ගෝලයක් වාර්තා කරගැනීමට පහසු අවස්ථාවක් හිමිවුවත් එහිදී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉවතින් ඇදී ගියේය.

අනතුරුව තරගයේ 69 වන මිනිත්තුවේ දී නේවි සී හෝක්ස් කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහිදී ඇය ලබාගත් මොහොමඩ් ශාහිල් එල්ල කළ පහර ගෝල රාමුවට ඉවතින් ඇදී යන්නට විය.

පසුව තරගයේ 73 වන මිනිත්තුවේ දී බොඩ්රික් ඩිමිත්‍රි හට සහ 79 වන මිනිත්තුවේ දී මොහොමඩ් ආකීබ් හට ගෝල වාර්තා කරගනිමින් කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන යන්නට අවස්ථාවක් හිමිවුවත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 84 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඩිමිත්‍රි විසින් ෆාසාල් ලබා දුන් පන්දුවක් ගෝල රාමු කලාපය තුළ සිට පහසුවෙන් ගෝල රාමුව වෙත යොමුකරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනු ලැබුවේ සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යමිනි.

ඉන් අනතුරුව තරගයේ 86 වන මිනිත්තුවේ දී නේවි සී හෝක්ස් කණ්ඩායමේ පී. ඩබ්. එන්. පෙරේරා  හට රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කළ අතර එතැන් සිට තරගයේ පාලනය සම්පූර්ණයෙන් සියතට ගන්නට කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව එම අවස්ථාවේ දී ගෝල රාමු කලාපය ආසන්නයේ ලැබුණු නිදහස් පහර අවස්ථාව තරගයට ආදේශ කරනු ලැබූ සර්වාන් ජොහාර් ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමුකිරීමට සමත් වූයේ මෙම තරගයේ සිය කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කරගනිමිනි.   

මැන්චෙස්ටර් යුනයිටඩ් ඉතිහාසයේ අඳුරුතම හෝරාව – මියුනික් ඛේදවාචකය

ඒ 1958 වසරයි. යුගොස්ලෝවියාවේ පැවැත්වුණු යුරෝපා කුසලාන තරගයක දී, රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ්…

පසුව තරගයේ 90 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සර්වාන් පිටියේ දකුණු අන්තයේ සිට පන්දුව ගෝල රාමු කලාපය අසලට යොමුකළ අතර එය ලබාගත් ෆාසාල් පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකිරීමට සමත් විය.

අනතුරුව තරගය අවසන් වන්නට පෙර කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය ලබාගත් සර්වාන් ඉතා මනරම් ලෙස එය ගෝල රාමුව තුළට යොමුකිරීමට සමත් වූයේ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට ගෝල 0-4ක විශිෂ්ට ජයක් හිමිකර දෙමිනි.

සම්පූර්ණ කාලය: නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජය 00 – 04 කොළඹ පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා – සර්වාන් ජොහාර් (කොළඹ පාපන්දු සමාජය)

ගෝල ලාභීන්

  • කොළඹ පාපන්දු සමාජය – සර්වාන් ජොහාර් 87’, 90+5’, බොඩ්රික් ඩිමිත්‍රි 84’, මොහොමඩ් ෆාසාල් 90’

රතු කාඩ්පත්

  • නේවි සී හෝක්ස් ක්‍රීඩා සමාජය – පී. ඩබ්. එන්. පෙරේරා

කහ කාඩ්පත්

  • කොළඹ පාපන්දු සමාජය – සර්වාන් ජොහාර්, මොහොමඩ් ෆාසාල්

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<