පළමු වටයේ අවසන් දිනයට ශතක 5ක්

Major Club 50 Over Tournament 2026  

1
SLC Major Club Women’s 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගවල දී ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සිනෙත් ජයවර්ධන, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ශතක වාර්තා කරද්දී වනුජ සහන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

Tamil Union C & AC සහ CCC කණ්ඩායම් අතර තරගයේ දී CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ කමිඳු මෙන්ඩිස් ශතක වාර්තා කරමින් නොනැවතී ද්විත්ව ශතක සබඳතාවයක් ද ගොඩ නගනවා.

එහි දී ලසිත් කෲස්පුල්ලේ පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 148 ද සහ කමිඳු මෙන්ඩිස් පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 139ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව පන්දු 243ක දී ලකුණු 268ක්.

එම තරගයේ දී ම Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තා. එය ඔහුගේ 21ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිමයි.

ඊට අමතර ව Bloomfield C & AC සහ SSC අතර තරගයේ දී ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ද ශතක වාර්තා කිරීමට සමත් වුණා. එහි දී Bloomfield C & AC කණ්ඩායමේ ජනිත් ලියනගේ පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 165ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ හොඳම ඉනිමයි.

SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු පිළිතුර ඉනිමේ දී පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 138ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව CCC කණ්ඩායමේ පවන් රත්නායක (නොදැවී 62), Panadura SC කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු (78), Nugegoda S & WC කණ්ඩායමේ නිමේෂ් විමුක්ති (නොදැවී 52), Ace Capital CC කණ්ඩායමේ රනේෂ් සිල්වා (නොදැවී 60), Colts CC කණ්ඩායමේ සංගීත් කුරේ (85) සහ මුදිත ලක්ෂාන් (69), Police SC කණ්ඩායමේ නිපුන් ප්‍රේමරත්න (68), Bloomfield C & AC කණ්ඩායමේ අසිත වන්නිනායක (60), SSC කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු (57) සහ නිපුන් ධනංජය (69) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

Ace Capital CC කණ්ඩායමේ වනුජ සහන් Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව ලකුණු 34කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

අද දින අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Tamil Union C & AC සහ CCC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • CCC – කඩුලු 5ක් දැවී 369 (50.0) ලසිත් කෲස්පුල්ලේ 148, කමිඳු මෙන්ඩිස් 139, පවන් රත්නායක 62, තරිඳු රත්නායක 2/57, විජයකාන්ත් වියස්කාන්ත් 2/71
  • Tamil Union C & AC – සියලුම දෙනා දැවී 297 (44.1) නවෝද් පරණවිතාන 43, සිනෙත් ජයවර්ධන 136, ශාරුජන් ශන්මුගනාදන් 22, විහස් තෙව්මික 28, අශේන් ඩැනියෙල් 4/56, ධනංජය ද සිල්වා 3/37

CCC කණ්ඩායමට ලකුණු 72ක ජයක්.

Panadura SC සහ Kurunegala Youth CC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – කඩුලු 9ක් දැවි 235 (43.0) ඔෂද ප්‍රනාන්දු 78, ශාලිත් ප්‍රනාන්දු 33, නේක්ෂ ඉද්දමල්ගොඩ නොදැවී 46, කලන පෙරේරා 22, ශෙෂාන් මාරසිංහ 3/52, මෙතුශාන් තිළිණ 2/47
  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 164 (31.3) ගයන වීරසිංහ 31, අභිශේක් ලියනාරච්චි 21, දිනුක තෙන්නකෝන් 31, ඩිල්ශාන් මදුවන්ත 3/20, තවීෂ අභිශේක් 3/20

Panadura SC කණ්ඩායමට ලකුණු 71ක ජයක්.

Ace Capital CC සහ Nugegoda S & WC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – සියලුම දෙනා දැවී 167 (47.3) නිමේෂ් විමුක්ති නොදැවී 52, සචිඳු කොළඹගේ 35, වනුජ සහන් 6/34, චාමික හීනටිගල 2/19
  • Ace Capital CC – කඩුලු 5ක් දැවී 170 (36.2) තිසර ඒකනායක 36, පවන්ත වීරසිංහ 21, රනේෂ් සිල්වා නොදැවී 60, චාමික හීනටිගල 33

Ace Capital CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

 

Colts CC සහ Police SC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – කඩුලු 6ක් දැවී 266 (50.0) සංගීත් කුරේ 85, දිනේෂ් චන්දිමාල් 31, ඇන්ජලෝ මැතිව්ස් 22, මුදිත ලක්ෂාන් 69, කවිජ ගමගේ නොදැවී 39, නිපුන් ප්‍රේමරත්න 2/61
  • Police SC – සියලුම දෙනා දැවී 194 (39.4) ධනුජ ඉඳුරුව 44, මොහොමඩ් ශමාස් 24, භානුක රාජපක්ෂ 23, නිපුන් ප්‍රේමරත්න 68, මුදිත ලක්ෂාන් 2/30, ශ්‍යාම්සුන්දර් ක්‍රිශ්ණශ්‍රීරාම් 2/41, කවිජ ගමගේ 2/20, අකිල ධනංජය 2/48

Colts CC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Bloomfield C & AC සහ SSC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC – සියලුම දෙනා දැවී 329 (50.0) අසිත වන්නිනායක 60, ජනිත් ලියනගේ 165, ශානික්‍ය දේශප්‍රිය 30, කසුන් රාජිත 4/49, මිහිරංග සිල්වා 2/49, දිනුර කළුපහන 2/61
  • SSC – කඩුලු 5ක් දැවී 334 (46.5) අවිශ්ක ප්‍රනාන්දු 138, නුවනිඳු ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 69, දුනිත් වෙල්ලාලගේ නොදැවී 30, රවිඳු ප්‍රනාන්දු 2/58, තරින්ද නිර්මාල් 2/71

SSC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Baduraliya SC සහ BRC අතර තරගය, කොළඹ Moors ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – සියලුම දෙනා දැවී 104 (24.5) හරීන් අචින්ත 31, ඩිල්ශාන් ද සොයිසා 25, දුලාජ් අශේන් 2/33, විග්නේශ්වරන් ආකාශ් 4/15
  • BRC – කඩුලු 3ක් දැවී 107 (14.5) ඉසුරු ප්‍රනාන්දු 26, ගජිත කොටුවේගොඩ නොදැවී 29, පවන් සංදේශ් 41

BRC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

එම නිමා වූ තරගත් සමඟින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා A කාණ්ඩයෙන් CCC සහ Moors SC කණ්ඩායම් ද B කාණ්ඩයෙන් Colts CC සහ SSC කණ්ඩායම් ද සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව CCC සහ SSC කණ්ඩායම් අතර පැවැත්වෙන 1 වැනි අවසන් පූර්ව තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේදීත් සහ Moors SC සහ Colts CC කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි අවසන් පූර්ව තරගය කොළඹ,  P. Sara Oval ක්‍රීඩාංගණයේදීත් මේ මස 07 වැනිදා පැවැත්විමට නියමිතයි.

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<