Warner Sunrises හැර යන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

8762

Sunrises Hyderabad කණ්ඩායමේ හිටපු නායක සහ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු වන David Warner තමා නැවත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩාංගණයේ දක්නට නොලැබෙනු ඇති බව පවසා තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 41ක් අවසන් වන විට Sunrises Hyderabad ලකුණු සටහනේ අවසන් ස්ථානය තෙක් පසුබැස ඇත්තේ ඔවුන් සහභාගී වූ තරග 10න් තරග දෙකක් පමණක් ජයග්‍රහණය කරමින්.

තරගාවලියේ පළමු වටයේ දී ඔවුන් සහභාගී වූ තරග 8න් 7ක්ම පරාජය වීමට ඔවුන්ට සිදුව තිබූ අතර දෙවැනි වටයේ එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර තිබුණා. කෙසේ වෙතත් පසුගිය තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ආරම්භක පිතිකරු David Warner මෙවර තරගාවලිය තුල එතරම් දස්කම් දැක්වීමට සමත් වුනේ නැහැ.

David Warnerගේ අසාර්ථකත්වය හමුවේ Sunrises Hyderabad ඊයේ (27) Rajasthan Royals සමඟින් පැවති තරගය සඳහා David Warner වෙනුවට Jason Roy එක් කර තිබුණා. සිය සහභාගීත්වයට සාධාරණයක් ඉටු කිරීමට Jason Roy සමත් වුනේ එම තරගයේ දී පන්දු 42ක දී ලකුණු 60ක් වාර්තා කරමින්.

Rajasthan Royals කණ්ඩායමට එරෙහිව ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය Sunrises Hyderabad තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් Sunrises Hyderabad කණ්ඩායමට අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

තම කණ්ඩායම සහ තමන් බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට සමත්නොවූ බව පවසමින් David Warner පවසා ඇත්තේ තමන් නැවත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩාංගණයේ දක්නට නොලැබෙනු ඇති බවයි. මෙය David Warner ගේ Sunrises Hyderabad නියෝජනය අවසන් බවට කරනු ලබන ඉඟියක් බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඊයේ තරගය අතරතුර Sunrises Hyderabad ක්‍රීඩකයන් රැඳී සිටි විවේකාගාරය තුළ David Warner දක්නට නොලැබීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබුණා. මේ පිළිබඳව David Warner විසින් Sunrises Hyderabad කණ්ඩායම Instagram හි පළකර තිබූ ඡායාරූපයක අදහස් දැක්වා තිබුණා.

එම ඡායාරූපයට ප්‍රේක්ෂකයෙකු විසින් දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වමින් David Warner පවසා සිටියේ තමන් නැවත ක්‍රීඩාංගණය තුළ දක්නට නොලැබෙන බවයි.

අවාසනාවකට නැවත මම එන්නේ නැති වේවි. ඒත් කණ්ඩායමට දිගටම සහයෝගය දෙන්න” David Warner පවසා සිටියා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 8කට ක්‍රීඩා කළ David Warner එහි දී අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 181ක් වාර්තා කර තිබුණා. එහි සාමාන්‍ය අගය දැක්වුණේ 24.37ක් ලෙසයි.

මෙවර තරගාවලිය තුල ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සෙසු තරගාවලි හා සැසඳීමේ දී අවම අගය වාර්තා කර තිබුණා. මෙම තරගාවලිය David Warnerගේ අසාර්ථකම තරගාවලිය ලෙස බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ වන විට 34 හැවිරිදි වියේ David Warner Sunrises Hyderabad සමඟින් එක්වන්නේ 2014 වසරේ දීයි. ඉන් අනතුරුව 2016 වසරේ දී Sunrises Hyderabad සිය මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය දක්වා මෙහෙය වීමටත් ඔහු සමත් වුනා.

2018 වසරේ දී ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකානු සංචාරයක් අතරතුර එල්ල වූ පන්දුව පළුදු කිරීමේ චෝදනා ඔප්පු වීමෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු නැවත Sunrises Hyderabad සමඟින් එක්වන්නේ 2020 වසරේ දීයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේ දී ද David Warnerගේ පිතිකරණය යම් මතභේදයකට හේතු වූ අතර එහි දී ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට Sunrises Hyderabad කණ්ඩායමේ අධ්‍යක්ෂ Tom Moody සහ ප්‍රධාන පුහුණුකරු Trevor Bayliss තීරණය කළේ ඉන් අනතුරුවයි.

“අපිට අවසන් තරගයට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි තීරණය කළා අපේ කණ්ඩායමේ ඉන්න නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙන්න. ක්‍රීඩා කිරීම ම විතරක් නෙමෙයි ක්‍රීඩාංගණයේ ගත කරන කාලය වගේම මේ තරග ගැනත් අවබෝධයක් ලබා ගන්න ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ”, ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී David Warner ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු Trevor Bayliss පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ආරංචි මාර්ග උපුටා දක්වමින් Times of India පුවත්පත වාර්තා කළේ මෙවර තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව David Warner Sunrises Hyderabad කණ්ඩායමට සමුදීමට නියමිත බවයි. ඉන් අනතුරුව ඔහු නැවතත් ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක්වන බව ද ඔවුන් වාර්තා කළා.

Times of India පුවත්පත ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<