2011 ලෝක කුසලානය පාවාදීමට අදාළ විමර්ශන අත්හිටුවයි

812

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ‍්‍රී ලංකාව පරාජය වීම තරග පාවාදීමක් යැයි හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශය පදනමක් නොමැති ප්‍රකාශයක් බව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා.

පසුගිය වසරේ ජුනි මාසයේ දී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල කරමින් පවසා සිටියේ එම කණ්ඩායම තෝරා ගැනීම පිළිබඳව තමා තුළ සැකයක් තිබෙන බවයි.

ඒ අනුව එවකට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිසිය දැනුම්වත් කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සහ පිතිකරු උපුල් තරංග  මහත්වරුන් විශේෂ විමර්ශන ඒකකයක් වෙත ගෙනාවා ප්‍රශ්න කිරීමට සිදුකරනු ලැබුවා.

ඒ අනුව කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති වීම හේතුවෙන් රජයේ නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් අදාළ චෝදනාව ඉවත් කර ගෙන තිබෙනවා.

“නඩුවක් ඉදිරියට ගෙන යාමට කිසිදු සාක්ෂියක් නැහැ. එම නිසා මෙම නඩුව ඉවත් කර ගන්නා ලෙස අපි පොලිසියට උපදෙස් ලබා දුන්නා”, යනුවෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් The Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

චෝදනා එල්ල වූ අවස්ථාවේ දී ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා ද එම චෝදනාවන් ඉවත් කර දැමුවා.

The Sunday Times පුවත්පත ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<