ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ අලුත්ම තත්වය

490

එළඹෙන ජූලි මාසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උදා වී තිබේ. ඒ එරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් තරග සංචාරයක් සඳහා එක්වීමට විරෝධය පලකිරීම නිසාවෙනි. 

නිරන්තරයෙන් වර්ධනය වන කොරෝනා තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් ලබන මස මුලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ තරග තුනකින් යුත් ටෙස්ට් තරගමාලාව සඳහා සහභාගි වීම අපහසු බව පවසා තිබේ.

හෙට්මයර්, බ්‍රාවෝ, පෝල්ගේ ඉවත් වීම ගැන හෝල්ඩින් කලකිරීමෙන්

Cricbuzz වෙබ් අඩවිය විසින් මේ බව වාර්තා කර තිබුණු අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් අන්තර්ජාලය හරහා හමුවී ඔවුන්ගේ අදහස් විමසා තිබුණි. 

එහි දී නම් හෙලිනොකරමින් එක් එක් ක්‍රීඩකයන්ගෙන් මෙම තරගාවලිය සම්බන්ධයෙන් ඇති හැකියාව විමසීමට ඔවුන් කටයුතු කර ඇත. එහි දී ක්‍රීඩකයන් ඒකමතිකව මෙම කාල රාමුව තුළ සංචාරය නොකිරීමට එකඟ වූ බව එම ක්‍රිකට් ආයතනය පවසා ඇත. 

“වර්තමාන තත්ත්වය තුළ අපට ශ්‍රී ලංකාවට යා හැක්කේ කෙසේ ද? වයිරසය අපට ආසාදනය වුවහොත් නැවත අපිට අපේ රටට පැමිණිය හැකි ද? අපගේ පවුලේ සාමාජිකයින්ට ද එවැනිම අපහසුවක් තිබේ යැයි අපි හිතනවා. සෑම දෙයක්ම පසෙකට දමා ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි ද?” එක් ක්‍රීඩකයෙකු නිර්නාමිකභාවය මත Cricbuzz වෙත පවසා තිබුණි.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් ද මෙම තරගාවලිය පැවැත්වීමේ සම්භාවිතාව අඩු බව පිළිගෙන තිබුණි. 

“ඔව්, අපි සමහර ක්‍රීඩකයන් සමඟ කතා කළා. ඔවුන් මේ කාලය තුළ සංචාරය කිරීමට උනන්දුවක් දැක්වූයේ නෑ. ශ්‍රී ලංකා සංචාරය නියමිත කාල රාමුව තුල ආරම්භ වීමට ඇති ඉඩකඩ ඉතා අඩු යැයි මම සිතනවා” අක්‍රම් Cricbuzz වෙත අදහස් දක්වමින් පැවසීය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ශූරතාවලියට අදාළ තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කළ මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග 3ක් ඇතුළත් විය.  එම තරග කොළඹ, ගාල්ල සහ මහනුවර යන ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය මුලින් සැලසුම් කර තිබුණි. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් අදහස් දක්වා නොමැති නමුත්, සංශෝධිත තරග සංචාරයක් යටතේ සැප්තැම්බර් මාසයේ දී මෙරට සංචාරය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

සංචාරය පිළිබඳ ඕනෑම තීරණයක් පදනම් වන්නේ තරග මාලාව සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් තිබීම, COVID-19 පැතිරීම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ දෙරටේ සූදානම මත බව අක්‍රම් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාව මෙම වයිරසය සාර්ථකව පාලනය කළ රටවල් කීපය අතරින් එකක් ලෙස සැලකේ. පසුගිය සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් ද ආරම්භ කළේය. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් පුහුණුවීම් සඳහා අවසර ලබා දී නැත. 

ක්‍රිකට් ක්‍රීඩාවටත් ආ ජාතිවාදී අරගලය

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළේ ක්‍රීඩකයන්ට නිවසේ සිට පෞද්ගලිකව පුහුණුවීම සඳහා අවසර ලබා දීමටයි. එහෙත් ජාත්‍යන්තර මට්ටමේ සියලු ක්‍රීඩකයන්ට එලෙස පුහුණු වීමේ පහසුකම් පිළිබඳව ගැටලුවක් පවතී. 

“ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැන සිතන තැනට අපි තවමත් ඇවිල්ලා නෑ. අපි තවමත් අපේම ක්‍රීඩකයන් සඳහා පුහුණුවීම් ආරම්භ කර නැහැ. වඩා වැදගත් වන්නේ මේ තත්වය කවදා දියුණු වේවි දැයි අපට කිව නොහැකි වීමයි. අපි තනි තනිව පුහුණු කිරීමට කැමති අය සොයා ගැනීමට උත්සාහ කරනවා. එවිට අපට ඔවුන් සඳහා ක්‍රීඩාංගණ සූදානම් කළ හැකිය. නමුත් සෑම කෙනෙකුම එය කිරීමට කැමති ද, නැතහොත් එය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පැතුමක් ද යන්න මට විශ්වාස නෑ.”

“ශ්‍රී ලංකා සංචාරය තරග තුනක ටෙස්ට් තරගමාලාවක් නිසා අපට නිසි සූදානමකින් තොරව එහි යාමට නොහැකියි. අපේ ක්‍රීඩකයින් දිගු කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව සිටින්නේ. එබැවින් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමෙන් පසු අවම වශයෙන් දින 40ක පුහුණුවක් අවශ්‍ය වේවි. එබැවින් ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අපට වහාම කිසිවක් කළ නොහැකියි” යැයි අක්‍රම් තවදුරටත් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<