Juventus – Napoli ද්වන්ද සටනක; Chelsea සහ Dortmundට නොසිතූ අභියෝග

83

එංගලන්ත Premier League සහ ප්‍රංශ Ligue 1 තරගාවලිවල සිව්වැනි සතියේ, ජර්මානු Bundesliga ලීග් තරගාවලියේ තෙවැනි සතියේ සහ ඉතාලි Serie A තරගාවලියේ දෙවන සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (31) දිනයේ දී පැවැත්විය.

​ආබාධ මැදින් PSGට පළමු ජය; Griezmann මෙසීගේ හිස්තැන පුරවයි!

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන සති අන්තයේ මෙන්ම, La Liga, හා Ligue 1 තරගාවලිවල…

Juventus – Napoli

පසුගිය වසරේ Serie A තරගාවලියේ ශූරතාව දිනා ගත් Juventus සහ එහි අනුශූරතාවය දිනා ගත් Napoli අතර Juventus Stadium ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 4-3ක් ලෙස ජයග්‍රහණය කරන්නට Juventus කණ්ඩායම සමත් විය.  

Juventus ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට සමත් විය. 15 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ Right back ක්‍රීඩක Mattia De Sciglio ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ඔහු වෙනුවට Danilo තරගයට ආදේශ කරනු ලැබීය. 

පිටියට පැමිණ විනාඩියක කාලයක් යන්නටත් මත්තෙන් ඔහු තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Juventus තරගයේ පෙරමුණට රැගෙන එමිනි. 

අනතුරුව මිනිත්තු 3ක කාලයක් ගත්වද්දී Gonzalo Higuain විසින් Juventus වෙනුවෙන් තරගයේ දෙවන ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ප්‍රතිවාදීන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

පළමු අර්ධය: Juventus 02 – 00 Napoli

තරගයේ දෙවන අර්ධයේ ආරම්භයේ දී Napoli ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරනු ලැබුවත් ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

අනෙක් පසින් Juventus ක්‍රීඩක Cristiano Ronaldo තරගයේ 62 වැනි මිනිත්තුවේ දී ඔහුට ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනිමින් පන්දුව ගෝල රාමුව තුළට යොමුකළේ සිය කණ්ඩායමට ගෝල 3ක දැවැන්ත වාසියක් හිමිකර දෙමිනි.

කෙසේ නමුත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ Napoli ක්‍රීඩකයින් ඊළඟ මිනිත්තු 7ක කාලය තුළ ගෝල ද්විත්වයක් වාර්තා කර ගනු ලැබුවේ නැවතත් තරගයට අවතීර්ණ වෙමිනි. 

Kostas Manolas විසින් 66 වන මිනිත්තුවේ දී සහ කණ්ඩායමට මෙම තරග වාරය ආරම්භයේ දී අලුතින් එක්වූ Hirving Lozano විසින් 68 වන මිනිත්තුවේ දී එම ගෝල වාර්තා කර ගනු ලැබූහ.

එම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය තවදුරටත් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට Napoli ක්‍රීඩකයින් දැරූ උත්සාහය Giovanni Di Lorenzo විසින් 81 වැනි මිනිත්තුවේ දී සාර්ථක කර ගනු ලැබුවේ ගෝල 3-3ක් වශයෙන් තරගයේ ලකුණු තත්වය සම තත්වයකට රැගෙන එමිනි.

ඒ අනුව තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වන සේයාවක් දිස්වුවත් තරගය අවසන් වන්නට මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දී Juventus ක්‍රීඩක Miralem Pjanic ඔවුන්ට ලැබුණු නිදහස් පහර අවස්ථාවක් ප්‍රතිවාදී ගෝල රාමු කලාපයට යොමුකරනු ලැබීය.

එහි දී Napoli ආරක්ෂක ක්‍රීඩක Kalidou Koulibaly පන්දුව ඉවතට යොමු කිරීමට ගත් උත්සාහයේ දී පන්දුව ඔහුගේ පාදයේ වැදී ඔවුන්ගේම ගෝල රාමුව තුළට යොමුවීම හරහා Juventus කණ්ඩායමට ගෝල 4-3ක් වශයෙන් මෙම තරගයෙන් ඉතා තියුණු ජයග්‍රහණයක් හිමි විය.

අවසන් ලකුණු තත්වය: Juventus 04 – 03 Napoli 

ගෝල ලාභීන් 

  • Juventus – Danilo 16’, Gonzalo Higuain 19’, Cristiano Ronaldo 62’, Kalidou Koulibaly 90+2’ (OG)
  • Napoli – Kostas Manolas 66’, Hirving Lozano 68’, Giovanni Di Lorenzo 81’

Messi, Ronaldo අධිරාජ්‍ය බිඳ දමමින් වසරේ පාපන්දු තරුවට වෙන අයෙක්

යුරෝපා පාපන්දු පිටියේ ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම සම්මානය වන UEFA වසරේ ක්‍රීඩකයා සම්මානය 2019…

Chelsea – Sheffield United

මෙම තරග වාරය තුළ තවමත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටින ප්‍රබල Chelsea කණ්ඩායමට, Premier League තරගාවලියට මෙම තරග වාරයේ දී උසස් වීමක් ලබා ගත් Sheffield United කණ්ඩායම හමුවේ එක් ප්‍රසාද ලකුණකින් සෑහීමකට පත්වීමට සිදු වූයේ එම තරගය ගෝල 2-2ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟයි. 

මෙම තරගය Chelsea ක්‍රීඩකයින් දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කරනු ලැබූ නමුත් ඒ සියල්ල කනපිට පෙරළී ගියේය. 

Tammy Abraham – AFP

19 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Tammy Abraham ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. අනතුරුව පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී නැවතත් ක්‍රියාත්මක වූ ඔහු සිය කණ්ඩායමේ දෙවන ගෝලය ද වාර්තා කර ගනු ලැබීය.

පළමු අර්ධය: Chelsea 02 – 00 Sheffield United

කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Sheffield United ක්‍රීඩකයින් තරගයේ 46 වැනි මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරන්නට සමත් විය. එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Callum Robinson විසිනි. 

Callum Robinson

ඉන් අනතුරුව Chelsea ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනෙක් පසින් Sheffield United හට තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ Robinson යොමුකළ පන්දුවක් Chelsea ක්‍රීඩක Kurt Zoumaගේ පාදයේ වැදී ඔවුන්ගේම ගෝල රාමුව තුළට යොමුවීම හරහා own goal අවස්ථාවක් හිමි වූ අතර ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 2-2ක් වශයෙන් ජය-පරාජයකින් තොරව ය. 

අවසන් ලකුණු තත්වය: Chelsea 02 – 02 Sheffield United

ගෝල ලාභීන් 

  • Chelsea – Tammy Abraham 19’, 43’ 
  • Sheffield United – Callum Robinson 46’, Kurt Zouma 89’ (OG)

Manchester City – Brighton

පසුගිය තරග වාර ද්විත්වයේ ම Premier League ශූරතාව දිනා ගත් ප්‍රබල Manchester City ඊයේ Brighton කණ්ඩායම හමුවේ ගෝල 4-0ක තවත් පහසු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

සුපුරුදු පරිදි තරගය ආරම්භයේ පටන් Manchester City ක්‍රීඩකයින් ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර ඒ අනුව ඔවුන්ට සිය පළමු ගෝලය වාර්තා කරගන්නට මිනිත්තු 2ක කාලයක් වත් ගතවූයේ නැත. එහි දී ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Kevin De Bruyne විසිනි.

Kevin De Bruyne

අනතුරුව 42 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Sergio Aguero ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කරගනිමින් පළමු අර්ධය අවසන් වන විට ගෝල 2-0ක් ලෙස සිය කණ්ඩායම පෙරමුණේ රඳවන්නට සමත් විය.

දෙවන අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Aguero එහි දී තවත් ගෝලයක් වාර්තා කර ගනු ලැබූ අතර අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී Bernado Silva ද ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ Manchester City හට ගෝල 4-0ක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්වය: Manchester City 04 – 00 Brighton

ගෝල ලාභීන් 

  • Manchester City – Kevin De Bruyne 2’, Sergio Aguero 42’ 55’, Bernado Silva 79’

Lewandowski සැණකෙළි පෙන්වද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ඇද වැටේ!

එංගලන්ත ප්‍රිමියර් ලීග් තෙවැනි සති අන්තය මෙන්ම Bundesliga හා La Liga දෙවන සති අන්තයන් ද අද…

Liverpool – Burnley FC

Burnley FC සමඟ ඊයේ පැවති තරගය Liverpool ක්‍රීඩකයින් ගෝල 3-0ක් ලෙස දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කරනු ලැබුවේ මෙම තරග වාරයේ තරග 4ම ජයග්‍රහණය කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙමිනි.

තරගයේ 33 වැනි මිනිත්තුවේ දී Burnley FC ක්‍රීඩක Chris Wood අතින් වාර්තා වූ own goal අවස්ථාව හරහා Liverpool තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය.

Chris Wood

අනතුරුව මිනිත්තු 4ක කාලයක් ගත වන විට ක්‍රියාත්මක වූ Sadio Mane ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කර ගනු ලැබුවේ පළමු අර්ධය අවසන් කිරීමේ සීනුව නාද කරන විට සිය කණ්ඩායම ගෝල 2-0ක වාසියක් හිමිකර දෙමිනි.

දෙවන අර්ධය පුරාවට ද පිටිය තුළ අණසක රඳවා ගත් Liverpool ක්‍රීඩකයින් තරගයේ 80 වන මිනිත්තුවේ දී Roberto Firmino හරහා ඔවුන්ගේ තෙවැනි ගෝලය වාර්තා කරගනු ලැබුවේ තවත් පහසු ජයක් වාර්තා කරගනිමිනි.

අවසන් ලකුණු තත්වය: Liverpool 3 – 0 Burnley FC

ගෝල ලාභීන් 

  • Liverpool – Chris Wood 33’ (OG) Sadio Mane 37’, Roberto Firmino 81’

Manchester United – Southampton 

මේ වන විට සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අසමත්ව සිටින තවත් ප්‍රබල කණ්ඩායමක් වන Manchester United කණ්ඩායමේ එම තත්වය ඊයේ දිනයේ දී නැවත වරක් ක්‍රියාත්මක වූයේ Southampton සමඟ පැවති තරගය ගෝල 1-1ක් ලෙස ජය-පැරදුමෙන් තොරව අවසන් වීමත් සමඟයි. 

Manchester United කණ්ඩායමට සාර්ථක ආරම්භයක් හිමිකර දුන් Daniel James 10 වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම, විශේෂයෙන් Manchester United කණ්ඩායමට ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Southampton ක්‍රීඩක Jannik Vestergaard ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි.

අනතුරුව තරගයේ 73 වැනි මිනිත්තුවේ දී Southampton ක්‍රීඩක Kevin Danso හට තරගය තුළ නිකුත් කළ දෙවන කහ කාඩ්පත හරහා රතු කාඩ්පතක් ලැබීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්ව යන්නට සිදුවිය. 

ඒ අනුව Southampton ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරද්දී ඉන් වාසියක් ලබාගනිමින් ගෝලයක් වාර්තා කරගෙන තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට Manchester United ක්‍රීඩකයින් දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය අසාර්ථක වීම හේතුවෙන් තරගය ජය-පරාජයකින් තොරව නිමාවට පත්වන්නට විය. 

අවසන් ලකුණු තත්වය: Manchester United 1 – 1 Southampton 

ගෝල ලාභීන් 

  • Manchester United – Daniel James 10’
  • Southampton – Jannik Vestergaard 58’

Union Berlin – Borussia Dortmund 

ඉතිහාසයේ ප්‍රථම වතාවට Bundesliga තරගාවලිය සඳහා මෙම තරග වාරයේ දී උසස් වීමක් ලබා ගත් Union Berlin ඊයේ ප්‍රබල Borussia Dortmund කණ්ඩායම හමුවේ පැවති තරගයේ දී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ගෝල 3-1ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය.

22 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Union Berlin ක්‍රීඩක Marius Bulter විසිනි. 

ඊට වහාම පිළිතුරු දැක්වූ Borussia Dortmund ක්‍රීඩක Paco Alcacer සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ පළමු අර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සම තත්වයක රඳවමිනි.

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක කාලයක් ගත වන විය නැවත වරක් ක්‍රියාත්මක වූ Bulter සිය දෙවන ගෝලය වාර්තා කරගනිමින් Union Berlin නැවතත් තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

අනතුරුව තරගයේ 75 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Sebastian Anderson විසින් Union Berlin කණ්ඩායමේ තෙවැනි ගෝලය වාර්තා කර ගනු ලැබුවේ සිය කණ්ඩායමට ගෝල 3-1ක තීරණාත්මක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.     

අවසන් ලකුණු තත්වය: Union Berlin 03 – 01 Borussia Dortmund 

ගෝල ලාභීන් 

  • Union Berlin – Marius Bulter 22’ 50’, Sebastian Anderson 75’
  • Borussia Dortmund – Paco Alcacer 25’

Bayern Munich – FSV Mainz 05

වසර ගණනාවක් පුරාවට Bundesliga ශූරතාව ජයග්‍රහණය කරමින් සිටින ප්‍රබල Bayern Munich ඊයේ FSV Mainz 05 සමඟ පැවති තරගයේ දී ගෝල 6-1ක ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය.

තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් වූයේ FSV Mainz 05 ක්‍රීඩක Jean-Paul Boetius විසිනි.

කෙසේ නමුත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ Bayern Munich ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් පළමු අර්ධය තුළ ගෝල 2ක් වාර්තා කරගනිමින් තරගයෙ පෙරමුණට එන්නට සමත් විය. Benjamin Pavard සහ David Alaba විසින් එම ගෝල වාර්තා කරගනු ලැබූහ.

දෙවන අර්ධයේ දී ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් Bayern Munich ක්‍රීඩකයින් ඇති ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් සිය ගෝල සංඛ්‍යාවට තවත් ගෝල 4ක් එක්කර ගත්තේ ගෝල 6-1ක පහසු ජයග්‍රහණයක් තහවුරු කරගනිමිනි. 

දෙවන අර්ධයේ වාර්තා වූ එම ගෝල වාර්තා කර ගනු ලැබුවේ Ivan Perisic, Kingsley Coman, Robert Lewandowski සහ Alphonso Davies විසිනි.

අවසන් ලකුණු තත්වය: Bayern Munich 6 – 1 FSV Mainz 05

ගෝල ලාභීන් 

  • Bayern Munich – Benjamin Pavard 36’, David Alaba 45’, Ivan Perisic 54’, Kingsley Coman 64’, Robert Lewandowski 78’, Alphonso Davies 80’
  • FSV Mainz 05 – Jean-Paul Boetius 6’

Paris Saint-Germain – FC Metz

ප්‍රංශයේ Ligue 1 ලීග් තරගාවලිය යටතේ පසුගිය තරග වාර දෙකේම එහි ශූරතාවය දිනා ගත් ප්‍රබල Paris Saint-Germain ඊයේ FC Mainz හමුවේ පැවති තරගයයෙන් ගෝල 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ Paris Saint-Germain හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය ලබා ගත් Angel Di Maria පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

අනතුරුව තරගයේ 43 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Paris Saint-Germain ක්‍රීඩක Eric Maxim Choupo-Moting සිය කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කරගත්තේ පළමු අර්ධය අවසානයේ කණ්ඩායමට ගෝල 2ක වාසියක් හිමිකර දෙමිනි.

දෙවන අර්ධය තුළ Paris Saint-Germain ක්‍රීඩකයින් පිටිය තුළ අනසක පතුරුවා ගන්නට සමත් වුවත් කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කිරීමට අවස්ථාවන් කිහිපයක් හිමිවූ නමුත් දෙපිළේ ම ක්‍රීඩකයින් ඒවා සාර්ථක කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් Paris Saint-Germain හට මෙම තරගයෙන් ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිවිය.

අවසන් ලකුණු තත්වය: Paris Saint-Germain 2 – 1 FC Metz

ගෝල ලාභීන් 

  • Paris Saint-Germain – Angel Di Maria 11’ (P), Eric Maxim Choupo-Moting 43’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<