ලෝක කුසලානයේ කිවි සලකුණ – නවසීලන්තය

496

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ ඉතාමත් අල්ප කාලයකි. ඊට සහභාගී වන කණ්ඩායම් අතරින් බලාපොරොත්තු දල්වා සිටින කණ්ඩායමක් ලෙස නවසීලන්ත පිල ඉදිරියෙන් සිටින්නේ තමන් ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ කුසලාන සිහිනය ද සමඟිනි.

ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව හා එංගලන්තය කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි.

නවසීලන්ත නායකත්වය වෙනස් වෙයි

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ⁣එක්දින තරග 3කින් යුතු පුහුණු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන…

ලෝකයේ ක්‍රිකට් ප්‍රබලතමයින් ලෙස සලකන ඇතැම් කණ්ඩායම් සමඟ සංසන්දනයේ දී අඩුවෙන් තක්සේරුවට ලක් වූ කණ්ඩායමක් ලෙස නවසීලන්තය වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවූව ද ඔවුන්ගේ එක්දින තරග දත්ත මඟින් එය එසේ නොවන බවට මනාව පිළිබිඹු කර ඇත.

සෑම ලෝක කුසලානයකට පෙරාතුවම ලෝක ක්‍රිකට් විචාරකයන් බොහෝ දෙනා පළකරනු ලබන අනුමාන අවසන් පූර්ව කණ්ඩායම් 4 සඳහා නවසීලන්තයට ඉඩක් වෙන් නොවූවත් ඔවුන් 2007, 2011 සහ 2015 යන අවසන් ලෝක කුසලාන 3 හිදී පිට පිටම ඒ සඳහා සුදුසුකම් ලැබූවේ එම අනාවැකි පුස්සක් බවට පත් කරමිනි. මේ අතරින් සුවිශේෂි කොට සැලකිය හැකි දකුණු ආසියානු උප මහද්වීපයේ පැවති 2011 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ තම තණතිලිවල වාසිය ලබා ගනිමින් අවසානය කරා පැමිණි අනෙකුත් කණ්ඩායම් 3 වූ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමඟින් ඊට සුදුසුකම් ලැබූ වෙනත් මහද්වීපයකින් සුදුසුකම් ලද එකම රට බවට පත්වෙමිනි.

තව ද අවසන් වරට පැවති 2015 ලෝක කුසලානයේ ඔවුන් ලබා ගත් අනුශූරතාවය මේ දක්වා ලෝක කුසලාන ගමන් මඟ තුළ කිවියන් විසින් සනිටුහන් කරන ලද ඉහළතම සංධිස්ථානයයි.

මෙවර ලෝක කුසලානය පිළිබඳ සලකා බැලීමේ දී ඒ වෙනුවෙන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කරන ලද මුල්ම කණ්ඩායම වූයේ නවසීලන්තයයි. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතුව පිටියට පිවිසෙන කිවියන්ගේ ඉනිමේ ප්‍රබලතම සාධකය මෙන්ම නැංගුරම වන්නේ ද ඔහු ය.

වර්තමාන නවසීලන්ත පිලේ අංක 3 පිතිකරණ ස්ථානය නිතරගයෙන්ම ඔහුට වෙන් වී ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ මේ දක්වා ක්‍රීඩා කළ වසර 9 තුළ තම දක්ෂතා ස්ථාවරව පවත්වා ගැනීමට ඔහු සමත් වූයේ 45.9ක ඉහළ පිතිකරණ සාමාන්‍යයක් මෙන්ම ඊට සරිලන 82.6ක ප්‍රහාරක වේගයක් ද රඳවා ගනිමින් එක්දින ලකුණු 5554ක් ලබා ගනිමිනි.

සුපිරි පිතිකරණ තාක්ෂණයකට හිමිකම් කියන විලියම්සන් වර්තමාන ලෝක එක්දින පිතිකරුවන් සංසන්දනයේ දී සමස්ත දක්ෂතා අතින් ලෝක ක්‍රිකට් විචාරකයන් දෙවැනි කොට ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට පමණි.

කෙසේ වෙතත් විලියම්සන්ගේ මෑතකාලීන රිද්මයේ තාවකාලික පසුබැසීමක් හේතුවෙන් වර්තමාන ICC එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්ථානයට පසුබැසීමට සිදු වුව ද තවමත් ඔවුන්ගේ ප්‍රබලතම අවිය වන්නේ ඔහු යි.

දශකයකට වැඩි කාලයක් පුරාවට නවසීලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා සිටින මාටින් ගප්ටිල් ද ඔවුන්ගේ අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකි. කණ්ඩායමේ ආරම්භයක පිතිකරණ භූමිකාව හොබවන ඔහු ද සුවිශේෂී පිතිකරණ තාක්ෂණයකට හිමිකම් කියන පිතිකරුවෙකි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී මුළු ලකුණු 547ක් සමඟින් එහි වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වීමට ගප්ටිල් සමත් වූයේ ගියවර තම කණ්ඩායම අනුශූරතාවය කරා රැගෙන යාමේ පුරෝගාමියෙකු බවට පත් වෙමිනි.

මේ වන විට ඔහු එක්දින ලකුණු 6440ක් ලබාගෙන ඇත්තේ  43.5ක පිතිකරණ සාමාන්‍යයක් හා 87.4ක ප්‍රහාරක වේගයක් ද රඳවා ගනිමිනි. ඊට අමතරව ICC එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ද 8 වැනි ස්ථානයේ රැඳී සිටින ගප්ටිල් මේ වන විට කණ්ඩායමේ සිටින ප්‍රබලතම තුරුම්පුවකි.

අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක් මයිකල් ස්ලේටර්. ඔහු මේ තරඟාවලියේදී කණ්ඩායම් දෙකක්…

කිවියන් සතුව සිටින සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන්නේ වසර 13ක ජාත්‍යන්තර අත්දැකීම් ඇති රොස් ටේලර් ය. ලෝක ක්‍රිකට් පිටියේ අඩු තක්සේරුවකට ලක් වූ ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි ටේලර් නවසීලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේම වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙසට සිය නම වාර්තා පොතට එකතු කිරීමට සමත් වූයේ මුළු ලකුණු 8026ක් සමඟිනි.

දශකයකට ආසන්න කාලයක සිට පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානය තමාටම වෙන්කරවා ගෙන සිටින ටේලර් තම පිතිකරණ සාමාන්‍යය ලෙස 48.34ක ඉහළ අගයක් සහ 83.37ක ප්‍රහාරක වේගයක් රඳවා ගෙන සිටී.

වර්තමාන එක්දින කණ්ඩායමේ ස්ථාවරව සහ ඉහළම රිද්මයක් රඳවා ගනිමින් අන් පිතිකරුවන් සියල්ලම වඩා ඉදිරියෙන් පසුවන ටේලර් ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඒ බව මනාවට ඔප්පු කරමිනි.

වර්තමාන කණ්ඩායමේ අත්දැකීම් බහුල ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා වන ගප්ටිල්, විලියම්සන් සහ ටේලර් වටා ගොඩනැගෙන නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව නවීන ක්‍රිකට් රටාවට යෝග්‍ය ලෙස හැඩගැසුණු ඉතා ශක්තිමත් පිතිකරණ බලඇණියකි.

මේ අතරින් කොලින් මන්රෝ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු ලෙස සංචිතයේ සිටින අතර ඔහු සමඟ කරට කර ආරම්භක පිතිකරණ ස්ථානයට සටන් කරන හෙන්රි නිකල්ස් තරමක් සෙමෙන් විශාල ඉනිම් ගොඩනැගිය හැකි පිතිකරුවෙකි. මාටින් ගප්ටිල්ගේ ආරම්භක පිතිකරණ සගයා වීම සඳහා මේ වන විට ඔවුන් දෙදෙනා අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත. මේ අතරින් නිකල්ස් අංක 6 ස්ථානයේ ක්‍රීඩා කිරීමට ද ඇතැම් විට අවකාශ පවතී. එසේ වුවහොත් මන්රෝ නිතරගයෙන්ම ගප්ටිල්ගේ සහයක ආරම්භයක පිතිකරුවා බවට පත්වනු ඇත.

කිවි එක්දින සංයුතියේ නිත්‍ය කඩුලු රකින්නාගේ භූමිකාව ටොම් ලේතම්ට පැවරී තිබෙන අතර ඔහු අංක 5 ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ලබයි. කලක් එක්දින කණ්ඩායමේ විශේෂඥ ආරම්භක පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කළ ලේතම් අද වන විට සිය භූමිකාව කණ්ඩායමට අවශ්‍ය පරිදි වෙනස් කරගෙන ඇත. ඔහුට අමතරව ටොම් බ්ලන්ඩල් ද අතිරේක කඩුලු රකින්නෙකු ලෙස සංචිතයේ රැඳී සිටින අතර මේ දක්වා ඔහු කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා කර නැත. එහෙත් ඔහු ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් සහ T20I තරග සඳහා මේ දක්වා ක්‍රීඩා කොට ඇත.

මීට අමතරව කණ්ඩායමේ පිතිකරණය මූලික කර ගත් වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ජේම්ස් නීෂම් සහ කොලින් ඩි ග්රෑන්හෝම් සිටින අතර මේ වන විට ඔවුන් දෙදෙනා අතර අංක 7 ස්ථානයට ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත. එමෙන්ම මොවුන් දෙදෙනාම එක්වර අංක 6 සහ 7 ස්ථාන දෙකෙහි ක්‍රීඩා කිරීමට අවකාශයක් ද පවතින්නේ ඔවුන් හෙන්රි නිකල්ස්ව යොදා ගන්නා ආකාරය අනුවයි.

වර්තමාන සංයුතියේ වේගපන්දු යවන්නන් ලෙස සලකා බැලීමේ දී කණ්ඩායමේ අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා ලෙස ටිම් සවුති ඉදිරියෙන්ම සිටී. වසර 11ක ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ඔහු කණ්ඩායමේ සිටින තවත් එක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකි. එහෙත් වර්තමානයේ සවුතිගේ පන්දු යැවීමේ රිද්මය තරමක් ගිලිහී ගොස් ඇති අතර ඔහුගේ මෑතකාලීන දස්කම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැක්කේ තම පන්දු පාලනයේ දුර්වලභාවය නිසා දිගින් දිගටම පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වී ඇති බැවිනි.

එම හේතුවෙන් වර්තමාන ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් 40 දෙනා අතරවත් රැඳී සිටීමට ඔහු අපොහොසත් වී සිටී. කෙසේ වෙතත් ඔහු සතු ජාත්‍යන්තර අත්දැකීම් සහ සමස්ත දක්ෂතා පාදක කොට ගෙන නිතරගයෙන්ම ඔහුව කණ්ඩායමේ ආරම්භයක පන්දු යවන්නා ලෙස යොදවා ගනු ඇත.

සවුති සමඟ ආරම්භයට පන්දු යවන්නා ලෙස අනෙක් අන්තයෙන් පිවිසෙන ට්රෙන්ට් බෝල්ට් කිවියන් සතු භයානකම තුරුම්පුවකි. ජාත්‍යන්තර පිටියේ වසර 7ක අත්දැකීම් ද සමඟ පිවිසෙන බෝල්ට් පැයට කිලෝමීටර් 140ක සාමාන්‍ය වේගයක් පවත්වා ගනිමින් වමත් වේගපන්දුවෙන් දස්කම් දක්වනු ලබයි.

ගියවර ලෝක කුසලානයේ දී ද තම කණ්ඩායමට අනුශූරතාවය ලබා දීම සඳහා අති විශාල මෙහෙවරක් සිදු කළ බෝල්ට් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් දෙදෙනාගෙන් කෙනෙකු බවට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ මිවෙල් ස්ටාක් සමඟ කරට කර කඩුලු 22ක් තම මල්ලට දමා ගනිමිනි.

ක්‍රිකට් ලොව ‘ලිලිපුට්ටන්’ ගලිවර්ට ගැහුව ගැහිල්ල

ශ්‍රී ලංකාවේ එක්දින තරග ආරම්භය සහ ලෝක කුසලාන පළමු සහභාගිත්වය අතර ඇත්තේ සමාන වයසකි. ඉතිහාස වාර්තාවල පැහැදිලිව සඳහන්ව නැතත් ලොව ප්‍රකටම…

වේගය සහ දෝලනය තම ප්‍රඹානතම අවි බවට පත්කරගෙන සිටින බෝල්ට් වර්තමාන ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවැන්නා ලෙසින් වැජඹෙමින් සිටින්නේ සිය වේගපන්දුවේ ආධිපත්‍යය ලෝකයට මනාව තහවුරු කරමිනි.

නවසීලන්ත වේගපන්දු යවන්නන් අතර වර්තමාන දස්කම් අතර සිටින වේගපන්දු යවන්නෙකු ලෙස මැට් හෙන්රි ද ඉදිරියෙන්ම සිටින්නේ ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට හිමිකම් කියමිනි.

බොහෝ දුරට ඔහු සවුති සහ බෝල්ට් දෙදෙනා සමඟ වේග පන්දු බලඇණියේ තෙවැනි වේගපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරනු ඇත. සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන්නේ ලොකී ෆර්ගසන් ය. පැයට කිලෝ මීටර් 150ක වේගයෙන් පන්දු යැවිය හැකි ඔහු මේ වන විට කිවියන් සතුව සිටින වේගවත්ම පන්දු යවන්නා යි. එළඹෙන ලෝක කුසලානය වේගපන්දුවට උචිත තණතීරු වල පැවැත්වෙන හෙයින් වේගය සහ දෝලනය ලබාගත හැකි පන්දු යවන්නෙකු කිවියන් සතුව සිටීම ඔවුන්ට මහත් අස්වැසිල්ලකි.

මීට අමතරව කණ්ඩායමේ දඟපන්දු යවන්නන් ගැන සලකා බැලීමේ දී වමත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස පසුගිය වසර 3කට වැඩි කාලයක් තුල නිත්‍ය ස්ථානයක් දිනා සිටීමට මිචෙල් සැන්ට්නර් සමත් විය. ඔහු සතු පිතිකරණ හැකියාව ද උපයෝගී කරගනිමින් කණ්ඩායම සමබර කිරීම සඳහා සැන්ට්නර් සාධකය උපයෝගී කර ගත හැකි වීම කිවියන්ට අත්වන අමතර වාසියකි. සංචිතයේ සිටින අනෙක් දඟ පන්දු යවන්නා වන්නේ පා දඟපන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝධි වන අතර ඔහුගේ මූලිකතම පන්දු ප්‍රභේද වන්නේ ගුග්ලි සහ ලෙග් බ්රේක් පන්දු සංකලනයයි.

ලෝක කුසලාන අනුශූරයින් ලෙස මෙවර පිටියට පිවිසෙන කිවියන්ගේ ඒකායන අරමුණ වනුයේ තමන්ට ගියවර අවසාන මොහොතේ අහිමි වූ කිරුළ තමා සන්තකයට ලබා ගැනීමයි. ගෙවී ගිය අවසන් වසර කිහිපය තුළ තම ජයග්‍රාහී රිද්මය ස්ථාවරව පවත්වා ගෙන ඉදිරියටම ආ වර්තමාන එක්දින සංයුතිය කිසිසේත් අවතක්සේරු කළ නොහැක්කකි. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතුව මෙවර ලෝක කුසලානය වෙත පිවිසෙන දක්ෂතා සමූහයක එකතුවක් වූ මෙවර නවසීලන්ත කණ්ඩායම ප්‍රතිවාදීන්ට අති විශාල අභියෝගයක් වනු ඇති බවට නොඅනුමානයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<